‘‘ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක්‘‘


(ඩයනා උදයංගනී)
ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් ඇතැයි යන්න සත්‍යයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.  
නමුත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල, සාලාව, කොස්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. 
“සමහරු අපෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද ද කියලා අහනවා. කොළඹ නගරයට ගියාම අහන්නේ සර් මණ්ඩලේ කචල් ද කියලා. අපි ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව ඇත්තයි. ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කරන්න නෙවෙයි ආණ්ඩුව රැකගන්නයි. රටේ ජනතාව දුන්නු ජනවර, ජනතාව තැබූ විශ්වාසය හා 69 ලක්ෂයේ අභිලාෂයන් රැකගන්නයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වන සංශෝධනයේ තිබුණු සමහර කරුණු ජනවරමට පටහැනියි. ජනවරම සුරකිනවනම් 20වන  සංශෝධනයේ එම කරුණු එළෙසින් එන්න විදිහක් නෑ. ජනවරම සුරකිනවා නම් වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න මේ ආණ්ඩුවේ නායකයන් කිසිම කෙනෙක්ට සංකල්පයක්වත් පැළ වෙන්න බෑ. ජනවරම සුරකිනවා නම් දේශපාලන නායකයන් රටේ නීතිය රකින නිලධාරීන්ව හිංසාවට පත් වෙන තීන්දුගන්න විදිහක් නෑ. මේවා සිදුවෙනවා කියන්නේ 69 ලක්ෂයේ  අභිලාෂයට, ජනතාව අපිට දුන්න ජනවරමට එරෙහි ව යනවා කියන එකයි.
මේ ආණ්ඩුව රැකගන්න නම් අපි වරදින තැන දී හඬ නගලා ඒක නිවැරදි කරන්ඩ ඕනේ. මගේ ජීවිතයේ මට වැඩිපුරම බැනලා තියෙන්නෙ අම්මයි තාත්තයි වගේ අපි මේ ආණ්ඩුවට බනින්නේ ආණ්ඩුව හදාගන්න ආණ්ඩුවට තියෙන ආදරේ නිසා. මේ ආණ්ඩුව නිසි මග ගෙනයෑමේ වගකීමක් මෙම ආණ්ඩුවට ඡන්ද දෙන්න කිව්ව, මේ මහා දේශපාලන ව්‍යාපාරය ආරම්භකරපු  පුද්ගලයන් විදියට අපිට තියෙනවා. අන්න ඒ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය සුරැකීමේ අරගලය තමයි අපි ආණ්ඩුව තුළ කරන්නේ. මේ ආණ්ඩුව ආ දුර කෙටියි. යා යුතු දුර දිගයි. ඒ නිසා අපි නිවැරදි විය යුතු තැන්වලදී නිවැරදි කර ගත්තොත් යා යුතු දුර ජනතා ආශිර්වාදය මැදින් ගමන් කළ හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා.’
විමල් වීරවංශ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් ගම්මන්පිල මහතා මෙසේ කීවේය.
“ෆිලික්ස් ඩයස් වැනි චරිත මේ ආණ්ඩුව තුළත් දකින නිසයි අපි සටන් කරන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ට වැඩ කළ හැකි බව පෙන්වූ නායකයෙක්. එතුමාට වැඩකරන්න අවශ්‍ය පරිසරය ලබාදීම අපේ වගකීමක්.”