‘‘අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වෙලා‘‘


(විමුක්ති එස් රුද්‍රිගු)

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ අයවැය පොරොන්දු වල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එම පොරොන්දු 25න් 18 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු තිබුණත් ඒ සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදනවල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් බවත් එය සමස්ත මුදලින් සියයට 11 වැනි සුළු ප්‍රතිශතයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

පොරොන්දු 25න් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ පොරොන්දු හතරක් පමණක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 16 බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගෙවුණු වසර දෙකක කාලයකදී අයවැය තුළින් වැඩිම මුදලක් වෙන්කළ සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා 2022 වසරේදී රුපියල් බිලියන 26.8 ක්ද 2023 වසරේදී රුපියල් බිලියන 43ක්ද වෙන්කර තිබූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එසේ විශාල මුදලක් වෙන් කර තිබුණත් එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට වසර දෙකේදීම රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.