(ඩයනා උදයංගනී)
වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සෙවීමට ප‍්‍රසිද්ධියේ සාක්ෂි විමසන ජනාධිපති කොමිසමක් වහාම පත්කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු සිසේරියන් සැත්කමට ලක් කළ බව කියන මව්වරුන්ගෙන් 25%ක්ම පැමිණිලි කර ඇති නිසා එය විභාග කළ යුත්තක්ව තිබෙන බව පෙනෙන්නේ යැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.
“වෛද්‍ය ෂාෆි වඳ සැත්කම් කළා කියන්න දේශපාලකයින්ට බැහැ, වගේම සිදු නොකළා කියන්න පොලිසියටත් බෑ. ඒක කියන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරුන්ට විතරයි. රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ අක්කර දහස් ගණනක් කැලේ විනාශ කළ බව ඔප්පු කරගන්න බැරි රටක ෂාෆි ශිහාබ්දීන්, ඇඟ ඇතුලේ තිබෙන පැලෝපීය නාලය විනාශ කර තිබුණත් ඒක ඔප්පු කර ගන්න පුළුවන් වේ යැයි මම හිතන්නේ නෑ. මේ පිළිබඳ සමාජ විශ්වාසය ඇති වෙන්න නම් ප‍්‍රසිද්ධියේ සාක්ෂි විමසන ජනාධිපති කොමිසමක් වහා පත් කළ යුතුයි. සැත්කමට භාජනය වුණු මව්වරුන්ගෙන් 25%ක්ම පැමිණිලි කළ නිසා මෙහි විභාග කළ යුත්තක් තිබෙන බව පේනවා’’ යැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.

