‘වූහාන්හි සිටින අපි අසරණ වෙලා’


(රංජිත් රාජපක්ෂ)                       

හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා  චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටින ප්‍රගීත් රොෂාන් වීරතුංග මහතා වී.චැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කියාසිටියේ දැඩි අවදානම් කලපයේ සිටින  ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා තනාපති කාර්යාලයෙන් මේ වනවිට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
 
චීනයේ වූහාන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති දැඩි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, එම කලාපය තුළ විශ්වවිද්‍යාල කිහිපයකම ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් විශාල පිරිසක් අධ්‍යාපන කටයුතුවල නියැලි සිටින බවත් පවත්නා තත්ත්වය මත විශ්වවිද්‍යාල බලධාරීන් නේවාසිකාගාරවලින් බැහැර නොයන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් හෙතෙම පැවසීය.
 
තමන් චීනයේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සමග නිතර සම්බන්ධතා පැවැත්වුවද එහි බලධාරීන් වූහාන් ප්‍රදේශයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙතෙක් ඉවත් කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වීරතුංග මහතා කීය.
 
එම අවදානම් කලාපය තුළ සිටින ලාංකික සිසුන්ට කොරෝන වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇති බවත්, තමන් සමග අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 31 දෙනෙකු රැඳී සිටින බවත්, විවිධ දුෂ්කරතා සහ අවම පහසුකම් යටතේ නේවාසිකාගාර වලට වි සිටින බවත් ඔහු සඳහන් කළේය.
 
තමන් ඇතුළු චීනයේ වූහාන් ප්‍රදේශයේ සිටින ලාංකික සිසුසිසුවියන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙසද ප්‍රගීත් රොෂාන් වීරතුංග මහතා මෙරට බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.