‘ව්‍යවස්ථාව යළි වෙනස් කරන්න ආණ්ඩුවට අයිතියක් නෑ’


(මුදිතා දයානන්ද)
           
ව්‍යවස්ථාව යළි වෙනස් කිරීමට මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. එය කළ හැක්කේ ඊළඟට පත්වන ආණ්ඩුවට පමණක් යැයි විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවසීය. රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 10 සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

"අද රටේ තිබෙන දේශපාලන තත්ත්වය ගැන අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතීන්ට හා සියලු ආගමිකයන්ට අද මේ රටේ ජීවත් වීමේ අයිතිය පිළීබඳ සැකයක් මතුවෙලා. ඒක අපිටත් දැනෙනවා. 

ආගම ඇදහිමේ නිදහස අහිමි වෙලා. පන්සලකට නිදහසේ යන්න බැහැ. කෝවිලකට නිදහසේ යන්න බැහැ. කිතුණු දේවස්ථානයකට, මුස්ලිම් පල්ලියකට නිදහසේ ගිහින් ආගම අදහන්න බැහැ. හැමෝටම බයෙන් සැකයෙන් ජීවත් වෙන්න සිදුවෙලා. 

අවුරුදු තිහක් මේ රට වෙලාගෙන තිබුණු දරුණු ත‍්‍රස්තවාදී යුද සමයේදීවත් මිනිස්සු මේ තරම් බයෙන් සැකයෙන් ජීවත් වුණේ නැහැ.  අද ජීවත් වෙන ජනතාව නෙවෙයි හෙට දවසේ උපදින්න ඉන්න නූපන් දරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුව ගෙදර යැවීමට අපි සියලූ දෙනාටම වගකීමක් තිබෙනවා. මේ ආන්ඩුව රට බෙදලා රට විනාශ කරලා ඉවර කරන්න කලින් අපි ඒක කළ යුතුයි" යයිද රාජපක්ෂ මහතා පැවසීය.