‘ලාංකික ශිෂ්ටාචාරය බුදුදහම පදනම්කරගත්තක් බවට විවාදයක් නැහැ’


(අංජුල මහික වීරරත්න)
 
ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය බිහි වූයේ බුදු දහම පදනම් කරගෙනය යන කාරණයෙහි කිසිදු විවාදයක් නැතැයිද බෞද්ධයන් පමණක් නොව බෞද්ධ නොවන ආගමික නායකයන්ද ඒ කාරණය පිළිගෙන ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුව තොටගමුවේදී ඊයේ(18) පැවැසීය. 
 
පිළිම හෝ ගොඩනැගිලි කඩා දමන්නට හැකි වුවද හිතේ ඇති ධර්මය විනාශ කරන්නට නොහැකි බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට ක්‍රියා කළයුතු බවද කීය. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ රාජ්‍ය වෙසක් උත්සවයේ දෙවන දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. 
 
හික්කඩුව තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්විණි.
 
රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණි අග්‍රාමාත්‍යවරයා වෙසක් දින බුද්ධ පුජා පින්කමටද සහභාගී විය. තොටගමුව පුරාණ විජයබා පරිවෙනාධිපති වතුරුවිල සුමේධ හිමියෝ බුද්ධ පුජා පිංකම පැවැත්වුහ. විහාරස්ථානයේ සම විහාරාධිපතිවරුන් වන රෑකඩහේනේ ඉන්ද්‍රසාර,පිටුවල බුද්ධසිරි සහ ඌරල ගෝතම හිමිවරුන්ගේ අනුශාසනා පරිදී මෙම පිංකම සංවිධානය කර තිබිණි.