(මනෝජ් හර්ෂික)
‘ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර කිසිම අර්බුදයක් නැහැ. එකම ප්‍රශ්නය තමයි ඔවුන් අපි කියන දේ කරන්නේ නැති එක‘ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (2) පැවැසීය.
කොළඹ 14, බණ්ඩාරණායක මාවතේ පිහිටි එ.ජා.ප. කාර්යාලයේ පැවති අඩු ආදායම්ලාභී පිරිස් වෙත පරිගණක ලබාදීමේ අවස්ථාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
"මේ රටේ අහිංසක ජනතාවට යම් පොරොන්දුවක් දුන්නා නම් අපි ඒ දේ මොන ආකාරයෙන් හෝ ඉෂ්ට කළ යුතුයි. ඒකට අපි බැදී සිටිනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් ජනතාව ලිඛිතව පොරොන්දු වූ දෙයක් තිබෙනවා. අන්න ඒ දේ ඉටු කළ යුතුයි.
අහිංසක ජනතාව පීඩාවට පත්කරන්න නම් ඉඩ තියන්නේ නැහැ. මේ පිරිස් සුඛෝපභෝගී මාලිගාවල ඉන්න පිරිසක් නොවෙයි. කුමාර වෙල්ගම හා අර්ජුන රණතුංග යන මහත්වරුන්ට ස්තූති කරනවා. මේ පිරිස කෙරෙහි මානුෂීය ආකාරයෙන් සිතලා ඔවුන්ට ලිඛිතව පොරොන්දුවක් දීම පිළිබඳව" යැයි ද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

