‘රෝගියා පරීක්ෂා නොකර බෙහෙත් වෙනස් කළේ කවුරුන්ද යන්න සොයනවා’


 

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා සමයේ රෝගියා පරීක්ෂාවට ලක් නොකර එතෙක් ලබාදුන් බෙහෙත් වර්ගය වෙනස් කිරීමෙන් අසාත්මිකතාවයක් ඇතිවී ඇතැයි සැකකරන අතර පාසල් සිසුවාගේ දෑස් නොපෙනී යාම සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්දැයි හෙළිකිරිමට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නේ යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (16) පැවසීය.

කොරෝනා වසංගතය පැවති කාල සීමාවේ තැපැල් මාර්ගිකව ලැබුණු බෙහෙත් භාවිතා කිරීමෙන් පසු දැඩි ලෙස රෝගාතුරව දෑස් නොපෙනෙන තත්ත්වයකට පත්ව තවමත් ප්‍රතිකාර ලබන තම පුත්‍රයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන ලෙස දෙමව්පියන් කළ ඉල්ලීමක් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය මෙන්ම ලංකාදීප පුවත්පත  මගින් කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා රෝගී සිසුවාගේ නිවසට පැමිණි ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

තම පුතා අපස්මාර රෝගී තත්ත්වයක් හේතුවෙන් මීරිගම මූලික රෝහලේ සායනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවද කොරෝනා සමයේ රෝහලට නොගිය අතර තැපැල් මගින් ලැබුණු බෙහෙත් භාවිතා කළ බවද එසේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර දරුවා මෙසේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව දෙමාපියෝ රාජ්‍ය ඇමැතිවරයාට පැවසූහ. ඇස් නොපෙනීමට අමතරව දරුවාගේ නියපොතු පවා ගැලවී ගිය බවද ඔවුහු සදහන් කළහ.

රාජ්‍ය ඇමැතිවරයා රෝගි දරුවා හා ඔහුට ලබාදී ඇති ඖෂධ පිළිබදව නිරීක්ෂණයට ලක් කර අතර මෙසේ හදිසියේ බෙහෙත් වර්ගය මාරු කර ඇත්තේ ඇයිදැයි සොයා බැලිය යුතු බවත් එසේ ලබාදුන් බෙහෙත් වර්ගය නිසා මෙම අසාත්මිකතාවය ඇතිවී ඇතැයි සැක කළ හැකි බවද කීය. එමෙන්ම රෝගියා පරීක්ෂාවට ලක් නොකර ඖෂධ වර්ගය වෙනස් කලේ ඇයිද යන්න සොයා බලන බවද ඇමතිවරයා කීය. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් නිසි පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවද ජයසුමන මහතා සදහන් කළේය.

මේ අවස්ථාවට එක්වූ මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් ඉන්දික මහතා පැවැසුවේ සමෘද්ධිලාභි පවුලක් බැවින් සමාජ ආරක්ෂණ අරමුදල මගින් ලබා දිය හැකි සියලු උපකාරයන් ලබා දීමට පියවර ගන්නා බවයි.