‘රට බේරා ගන්න ආගමික නායකයෝ සද්භාවයෙන් කටයුතු කළ යුතුයි’


(නිමල කොඩිතුවක්කු)

සියලුම ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් සත්‍යග‍්‍රහයක් පවත්වා සිදුව ඇති ව්‍යසනයෙන් රට මුදා ගැනීමට කටයුතු කරන බව දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

රට පත්ව ඇති ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා සියලුම ආගමික නායකයන් සද්භාවයෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයිද උන්වහන්සේ  සඳහන් කළහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී  ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව පැවසූහ.

ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.   

 ‘‘දැන් පාර්ලිමේන්තු  මන්ත‍්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාවක් ඉල්ලලා තියෙනවා. මේ 225 ආරක්ෂා කරන්න ගියොත් රටේම ආරක්ෂාව ඉවරයි.  ආරක්ෂාව නැත්නම් කරුණාකරලා  ගෙවල්වලට වෙලා හෝ පාර්ලිමේන්තුවේ දොර වහ ගෙන ඉන්න කියලා අපි ඒ අයට කියනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සියලුම ආරක්ෂක විදිවිධාන ක‍්‍රියාත්මක කරන්න කියලා අපි රජයට කියනවා.

මේ භයානක  ත‍්‍රස්තවාදයෙන්  රට ගලවා ගැනීමේ මෙහෙයුමට  සියලුම ආගමික නායකයන්ගේ සමුළුවක් කැඳවිය යුතුයි. ඒ සඳහා  නායකත්වය ගන්නා ලෙස අපි කාදිනල් තුමන්ගෙන් ඉල්ලා සිටිනවා. මහා පරිමාණ සත්‍යග‍්‍රහයක් පවත්වා සියලුම ආගමික නායකයන් ඒකරාශී කරගෙන  මේ මහා ව්‍යසනයෙන් රටම ගලවා ගත යුතුයි.

දැන් මුස්ලිම් දේවස්ථානවලින් අවි ආයුධ මතු වෙනවා. මුස්ලිම් ආගමික නායකයන් කියනවා ඒවා අපේ නෙමෙයි තවුහිත් ජමාත් සංවිධානයේ කියලා. අපි දන්නේ නැහැ තවුහිත්  කවුද තවුහිත් නොවන අය  කවුද කියලා.

අන්තවාදී ත‍්‍රස්තවාදී  ඉස්ලාම් කණ්ඩායමේ පල්ලි 400 ක් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ඇති බව දයාසිරි ජයසේකර මහතා පැවසුවා. එහෙමනම් මුස්ලිම් අමාත්‍යාංශයත් ත‍්‍රස්තවාදී සංවිධානයක් නෙමෙයිද? අමාත්‍යාංශය බාර මුස්ලිම්  අමාත්‍යවරයා ත‍්‍රස්තවාදියෙක් නෙමෙයිද කියලා අපි අහනවා.

අන්තවාදී ත‍්‍රස්තවාදි  ඉස්ලාම් කණ්ඩායමේ පල්ලි 400ක් අවි ආයුධ ගබඩා කරමින් රජයේ අනුමැතියෙන් කරගෙන යනවා. එයින් පල්ලි  50ක්ම නිර්මාණය වෙන්නේ මහනුවර නගරයේ.

සාමාන්‍යය  පිළිගැනීමේ හැටියට මුස්ලිම්  දේවස්ථානයක යාඥා කරන්න ඉඩ ලැබෙන්නේ භක්තිකයන්  40ක්  ඉන්නව නම් පමණයි. නමුත් වාර්තා වන තොරතුරුවලට  අනුව මේ ත‍්‍රස්තවාදී සංවිධානයට  අයිති පල්ලිවල ඉන්නේ දහ දොලොස්දෙනෙක් පමණයි. කොහොමද මේවා ලියාපදිංචි  කළේ කියලා අපි අහනවා.

මුස්ලිම්  ත‍්‍රස්තවාදය පතුරවන්න රජයේ අමාත්‍යාංශයක් උපකාර කරලා තියෙනවා. මේ පිළිබඳ  රාජ්‍ය නායකයා සහ කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි.  ඒ අමාත්‍යවරයාගෙන් වහාම ප‍්‍රශ්න කර තරාතිරම නොබලා  අදාළ දඩුවම් ඒ අයට දෙන්න  ඕන.

මුස්ලිම්  පූජකවරුන් ආරක්ෂක අංශවලට කියන්න  ඕන එන්න අපේ පල්ලි පරීක්ෂා කරන්න කියලා.  කාදිනල්තුමාත් කියලා තිබුණා දේවස්ථාන පරීක්ෂා කරන්නට  අපි අවසර දෙනවා කියලා.  අපි කියනවා පන්සල් සැක නම් එන්න ඒවාත් පරීක්ෂා කරන්න කියලා.

හිඟුරාන උක්  කර්මාන්ත ශාලා ගබඩාවෙන්  මේ වනවිට උක්ගස් කපන කැති 300ක් අතුරුදන් වෙලා තියෙනවා.  මුස්ලිම් දේවස්ථාන වලින් කඩු අහුවුනා. මේ සූදානම් වෙන්නේ ජිහාඩ් ක‍්‍රමයේ  ඝාතනයකට විය හැකියි.

මේ පවතින තත්වය යටතේ  නීති මදි නම්  එයට අදාළ නීති  සකස් කරගෙන වහාම ජනතාවගේ ආරක්ෂාව සැපයිය යුතුයි. චෝදනා ඔප්පු  කිරීමකින් තොරව දැනට බන්ධනාගාර ගතව  සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් පොදු  සමාවක් යටතේ නිදහස් කළ යුතුයි.

බුද්ධි අංශ වල  සිටින සියලුම දෙනා නිදහස් කර ඔවුන්ට  රට ජාතිය නිදහස් කිරිම සඳහා බලය ලබා දිය යුතුයි’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.