‘යහපත් සමාජයක් බිහිකරන කටයුත්තට වැලිකඩ හිරගෙදර අභියෝගයක් වෙලා’


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
ශ්‍රී ලංකාවේ යහපත් සමාජයක් බිහිවීම වළකාලමින්, ඊට අභියෝග ගෙන දෙන ප්‍රධාන මධ්‍යස්ථානය බවට වැලිකඩ බන්ධනාගාරය පත්ව ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(22) මිනුවන්ගොඩදී පැවසීය.
 
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග  විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් පසුව පැවති දෙමාපිය දුදරු හමුවේදීය.
 
ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහන යටතේ වැඩ කටයුතු කරගෙන යන නාවික හමුදාව සති තුනකට පෙර මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලා ගැනීමට සමත් වූ බවත් එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බවට හෙළි වී ඇති බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසීය.
 
නීතිවිරෝධී වැඩ කරන රැඳවියන්ගෙන් බන්ධනාගාර පිරී ඇතැයිද, මෙලෙස ජාවාරම් සිදුකරන පුද්ගලයන් සහ ඊට සම්බන්ධ පිරිස හදුනා ගැනීම  සඳහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වැලිකඩ බන්ධනාගාරයේ සිටින 5,000ක්, 6,000ක් පමණ වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.