
(දිලීප් ජයසේකර)
මිනිස් පරිභෝජනයට ගන්නා සහල්, සත්ව ආහාර සඳහා හොර රහසේ යොදාගැනීමේ ජාවාරම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් සැකසුම්කරුවන් සහ මෝල් හිමියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි තිස්සමහාරාම සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
“රජයෙන් ලබා දී ඇති සහතික මිල ඉක්මවා වී කිලෝ එකක් රුපියල් 53ත් 55ත් අතරේ මුදලකට සත්ව ආහාර සඳහා ජාවාරම්කරුවන් ගොවියාගෙන් වී මිලදීගන්නවා. රජය මේ වන විට වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දී තිබුණත්, වී මෝල් හිමියන්ට එම මිලට මිලදී ගැනීමට වී නෑ. ගොවියාටත් වී කිලෝ එකක් සඳහා වැඩි මිලක් ලැබෙන නිසා ජාවාරම්කරුවන්ටම වී අලෙවි කරනවා. මේ හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සහල් සැකසුම්කරුවනුත් දැඩි අසීරු තත්වයකට පත්වෙනවා.
සත්ව ආහාර සඳහා යොදාගන්නා බඩ ඉරිඟුවල දැඩි හිඟයක් වෙළදපොළේ ඇති නිසා, මෙම පිරිස මිනිස් පරිභෝජනයට ගන්නා සහල්, සත්ව ආහාර සඳහා ඉතා සුක්ෂමව යොදාගන්නවා. මේ ජාවාරම විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මක වෙනවා. ගොවියාගේ පැත්තෙන් බැලුවම ගොවියට ඒක වාසියක් වුණාට මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන හාල් ටික තමයි මේ හොර පාරෙන් සත්ව ආහාර සඳහා යන්නේ. ඉදිරියේදි ලංකාවේ මිනිස්සුන්ට කන්න දෙන්න සහල් පිටරටින් ගේන්න සිදුවෙන්න පුළුවන්.
ජාවාරම්කරුවන් මෙම ජාවාරම කරන්නේ ඉරිදා හා රජයේ නිවාඩු දිනවලට. මොකද මේ දිනවලට නිලධාරීන් නිවාඩුයි. මේ සහල් පාරේ ගෙනියද්දි වුනත් කාටවත් හිතාගන්න බෑ කොහෙද මේ හාල් අරන්යන්නේ කියලා. පොලිස් නිලධාරීන් වාහනේ නවත්තලා පරීක්ෂා කළා කියලා ඒ අයට හොයා ගන්න බෑ මේ මොන සහල්ද කියලා. අපි රජයට යෝජනා කරන්නේ දැන්ම තියා මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් හදන්න කියලා.
දැනට පොත්ත විතරක් ඉවත් කළ හාල් කිලෝ එකක් රුපියල් 78ක් වගේ මුදලකට සත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතන මිලදී ගන්නවා. මෝල් හිමියන් නොවන පුද්ගලයන් සහල් තොග සඟවා තබාගෙන සිටීම නිසා ඉදිරියේදී රට පුරා කෘතිම සහල් හිඟයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් සහල් මිල යළි ඉහළ යන්න පුළුවන්. එහෙම වුණොත් යළි කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් සැකසුම්කරුවන් කඩාවැටීමකට ලක්වෙනවා.
රජයෙන් පොහොර සහනාධාරය දීලා, අනෙකුත් පහසුකම් ටිකත් ගොවියට දෙනකොට ගොවියගෙත් යුතුකමක් තියෙනවා 25%ක්වත් වී තොග රජයට දෙන්න. රජයටත් වගකීමක් තියෙනවා පොහොර සහනාධාරය ගන්නා ගොවීන්ටත් අනිවාර්ය කරලා හරි වී තොග රජයට ලබා ගන්න වැඩපිළිවෙළක් සකස් කිරීමට. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඇත්තටම වී තොග රැස් කර තබාගැනීමේ පහසුකම් අඩුයි. ඒ නිසා වී අලෙවි මණ්ඩලය සතුව වී තොග තියේ නම් ඒවා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට නිකුත් කරලා ඒවා සහල් බවට පත් කළ යුතුයි. එහෙමවුණොත් සහල් හිඟයක් මවාපාන්න ජාවාරම්කරුවන්ට පුළුවන් කමක් නෑ.
මිනිස් පරිභෝජනයට ගන්නා සහල් සත්ව ආහාර ලෙස නොගන්නා ලෙසට රජය ගැසට් එකකුත් නිකුත් කර තියෙනවා. ලංකාවේ සත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතන රජයේ ලියාපදිංචි ආයතන. ඒවාට මිනිස් පරිභෝජනයට ගන්නා සහල් ගෙනියනවද නැද්ද කියන එක පරීක්ෂා කිරීම හරිම පහසුයි. තවමත් පාරිභෝගික අධිකාරියට බැරිවුණා මෙම ජාවාරම නවත්තන්න” තිස්සමහාරාම සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී මහතා පැවසීය.

