‘මරණ දඬුවමට මම විරුද්ධයි’


(දයාරත්න ඇඹෝගම)

'කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඬුවම විසඳුම කියලා කවුරු හරි හිතනවානම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් මරණ දඬුවමට විරුද්ධයි, තමන්ද පෞද්ගලිකවම මරණ දඬුවමට විරුද්ධයි' යැයි අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.

ජය ශ්‍රී මහා බෝධිය ආසන්නයේ අද (01) ආරම්භ කරන ලද දොළොස් මහේ දන්සල විවෘත කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

  ‘‘මරණ දඬවම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. මරණ දඩුවමට මමත් විරුද්ධයි, මිනිහෙක් එල්ලුවයි කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. කුඩුකාරයෝ හතර දෙනෙක් එල්ලුවා කියලා මේ ප්‍රශ්නය විසඳනවා නම් අපිට ඒකට එකඟ වෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ මේ වගේ තිබුණ රටවල් වල මිනී මරලා, එල්ලලා මරලා මේ ප්‍රශ්නය විසඳලා නෑ.මේ තත්වයට ඇති වුණේ කොහොමද, ඒකට බලපෑ කාරණා මොනවද කියන එක පැහැදිලිව හොයලා බලලා කටයුතු කරන්න ඕන.ඒ නිසා කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඩුවම විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා.

ජනාධිපතිතුමාගේ කාලය ඉවර වෙලා නෑ, එතුමාගේ ධූරයේ නියමිත කාලය තව මාස කීපයක් තියෙනවා. ඒ මාස කීපයට පෙර මැතිවරණයට ගියොත් තමයි ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන්න වෙන්නේ, එතුමාගේ කාළ සීමාව ඉවර වෙනකල් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරන්න බෑ. ජනාධිපතිතුමා මැතිවරණයට ගැසට් කළාට පස්සේ අපේ අපේක්ෂකයා කවුද කියන එක කියන්නේ.

මේ රටේ ඔලුවක් තියෙන බුද්ධියක් තියෙන අය හිටියා නම් පැහැදිලිව දන්නවා පොහොට්ටුවේ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්තයා දැම්මොත්, අගමැති අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා එනවා.තව රාජපක්ෂලා 10 -15 ක් කැබිනට් මණ්ඩලයට එනවා.එතකොට නැවත ආයෙත් මේක යන්නේ ඒකාධිපති ස්වරූපයකට.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ වෙද්දි කුමාර වෙල්ගම මැතිතුමා පැහැදිලිවම මේ කතාව කියලා තියෙනවා.

දයාසිරි ජයසේකර මහත්තයා මේ කතාව කියනවා.එහෙම වුණාම ආයෙත් ඒකාධිපතීත්වයකට යන එක තමයි ප්‍රශ්නය තියෙන්නේ කියලා ඒ අය කියන්නේ. ඒ පැත්තෙවත් තාම ප්‍රජාත්‍රන්තවාදී රාමුවක් ගොඩනැගෙන්න නෑ, ඒ නිසා මේ රටේ බහුතරයක් ජනතාව කුමාර වෙල්ගම මහතාගේ මතයේ ඉන්නවා. ඒ නිසා තමයි අනෙක් අයගේ හඬ ඉදිරියට ආවේ නැතත්, කුමාර වෙල්ගම මහතාගේ හඬ ඉදිරියට ඇවිත් තියෙන්නේ.

තාම තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව දීලත් නෑ.රිෂාඩ් බදියුදීන් මහතා සාක්ෂියක් පමණයි දීලා තියෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 10 වැනිදාත් තේරීම් කාරක සභාව සාක්ෂි විමසීම සිදු කරනවා.

අවසන් තීන්දුවක් නැතිව, කල්තියා උපකල්පනය කරනවා, එයාට ඇමතිකම දෙනාවද, එයා නිදහස් වෙනවාද , නැත්නම් මොකක්ද වෙන්නේ කියලා වෙනම දේශපාලන න්‍යාය  පත්‍රයකටනේ විපක්ෂ කටයුතු කරන්නේ. එහෙම නැතිව සැබෑම වැරදිකරුවන් හොයන්න උදව් කරනවා වෙනුවට ඒ අය බලන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. එහෙම කරන්න ගියොත් රටේ ජනතාව බලාපොරොත්තු වෙනදේ සිද්ධ වෙන්නෙ නෑ.

ඒ වගේම තේරීම් කාරක සභාව හමුවට දයාසිරි ජයසේකර මැතිතුමා එන්නේ නෑ කියනවා, එතුමා ආවෙ නැත්නම්, තේරීම් කාරක සභාව ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනියි.මම දැක්කා මාධ්‍ය මගින් තේරීම් කාරක සභාව හමුවට කවුරුන් හෝ කැඳවා තිබියදී එන්නේ නැත්නම් අධිකරණයට ඒ සම්බන්ධයෙන කරුණූ වාර්ථා කරනවා කියලා. ඒක තේරීම්කාරක සභාවේ වගකීමක්, එතුමන්ලා ඒ තීන්දුව ගනියි.

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරියේදී  ගේනවා කියලා විපක්ෂ්‍ය මොර දෙනවා.ඔය වගේ ඒවා මීට පෙරත් අරන් ආවානේ, ආණ්ඩුවට විරුද්ධව අරන් ආවා. අගමැතිට විරුද්ධව ගෙනාවා ඇමැතිවරුන්ට විරුද්ධව ගෙන ආවා, අපි ඡන්ද විමසීම් කළා, සමහර ඒවා කලින්ම ඉවත් වුණා, මේ ඉදිරියේ ගේන එකත් ඔය වගේ එකක් වේවි. මම හිතන්නේ නෑ දින 52 වගේ ආණ්ඩු ආයෙත්ම හදන්න හැකි නොවන බවද‘‘ අමාත්‍ය පි.හැරිසන් මහතා මෙහිදී පැවැසීය.