‘මරණ දඬුවමට අත්සන් කරන්න ජනපතිට බලය තිබෙනවා’


(අජන්ත කුමාර අගලකඩ)
 
අධිකරණය විසින් පනවනු ලබන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීම ජනාධිපතිවරයා ලෙස තමන්ට අයිති බලයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
 
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව අධිකරණය හමුවේ නඩු විභාගයක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
 
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිසා රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල විය හැකි බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් කැබිනට් රැස්වීමේදී කරන ලද පැහැදිලි කිරීම් සැලකිල්ලට ගනිමිනි.
 
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන ගණනාවකින් විරෝධය එල්ල වී ඇතැයි පවසා ඇති මංගල සමරවීර ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන්  කැබිනට් මණ්ඩලයටද වගකීමක් පැවරෙන්නේ යැයි සඳහන් කර ඇත.
 
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාට ඇති බලයක් බවද ප්‍රකාශ කර ඇත.
 
අධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින්, ඒ සඳහා කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා පවසා ඇත.