(බිඟුන් මේනක ගමගේ)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති ගත් තීන්දුව ශ්‍රී ලංකාවේ ගෞරවය කෙළෙසීමක් බවත් එය ආපස්සට හරවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද(02) පැවසීය.
මරණ දඬුවම නැවත පැනවීම කෘෘර තීන්දුවක් බවත් එය නැවත ගෙන ඒමෙන් අපරාධ වැළැක්විය හැකි යැයි විශ්වාස නොකරන බවත් කරුණාරත්න පරණවිතාන මහතා කීය.
මරණ දඬුවමට එරෙහිව සෑමවිටම මතවාදීව අදහස් ප්‍රකාශ කළ තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට පාර්ලිමේන්තුවේ කළ මංගල කතාවේ තේමාව වූයේ ද මරණ දඬුවමට එරෙහි වීම බව නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ දෙවැනි වෛකල්පිත ප්‍රොටෝකෝලය අත්සන් කළ කිසිම රටක් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නැති බව කී හෙතෙම ලංකාව එය අත්සන් නොකළ ද ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරන ජාත්‍යන්තර නීතියේ කොටස්කරුවකු වී සිටින බවත් සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය මැඩලීමට සෙසු දේශපාලන පක්ෂ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවට ජනාධිපතිවරයා කළ චෝදනාව අසත්‍යයක් බවත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ජාතික හෙළ උරුමය පක්ෂයක් හැටියට උපරිම සහාය දුන් බවත් පරණවිතාන මහතා අවධාරණය කර කීය.
අධිකරණයට පවා ඇතැම් අවස්ථාවල වැරදීම් වී ඇති බවත් මරණ දඬුවම යනු අවාසනාත්මක දඬුවමක් බැවින් එවැන්නක් වුවහොත් එයින් අසාධාරණයට ලක්වන තැනැත්තාට කිසිදා සාධාරණයක් කළ නොහැකි බවත් නියෝජ්‍ය ඇමැති පරණවිතාන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මෙම අදහස පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ජාතික වෘත්තීය සුදුසුකමෙහි සංකල්පීය රාමුව පිළිබදව ඇගයීම් වැඩමුළුවට සහභාගී වෙමිනි.

