‘මරණ දඬුවම, එජාපයේ ප්‍රතිපත්තිවලට මුළුමනින්ම විරුද්ධයි’


(අංජුල මහික වීරරත්න මොනරාගල සිට)
 
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් විරුද්ධ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොනරාගලදී අද(30) පැවැසීය.
 
පාර්ලිමේන්තුවේදී ප්‍රධාන කණ්ඩායම් හතරම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට විරුද්ධ බව කී අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර ජනපතිවරයා සමඟත් සාකච්ඡා කරන බවද සඳහන් කළේය.
 
මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ එක්සත් ජාතීන්ගේ යෝජනාවට 2016 වසරේදී කැබිනට් මණ්ඩලය අත්සන් කළ බව කී අග්‍රාමාත්‍යවරයා අනතුරුව තමා අගමැති ධුරයෙන් ඉවත් කර සිටි සමයේ එනම් 2018 දෙසැම්බර් 17, මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ මහින්ද රාජපක්ෂ අගමැති ප්‍රමුඛ රජය ඉහත යෝජනාවට අත්සන් කළ බවද පැවසීය.
 
මොනරාගල මරිඅරාව පැවැති ජන රැළියකදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
 
“මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරීමට සූදානම්වීම අලුත්ම ප්‍රශ්නයයි. ජේ.ආර්. ජයවර්ධන ජනපති වූ විට කිසිම ජීවිතයක් නැතිකිරීමට තමන් සූදානම් නැති බැවින්  මරණ දණ්ඩනය සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් නොකරන බව ප්‍රකාශ කළා. එවිට සමහරුන් එතුමාට දොස් කිව්වා. නමුත් එතුමාගේ තීරණය ක්‍රියාත්මක වුණා.
 
ආර්. ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග ජනාධිපතිවරුන් ද ජේ.ආර්. ජනපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක කළා. ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත්වුණා. එතුමියගේ පියා ඝාතනයට ලක්ව සිටියා. නමුත් එතුමියත් කළේ කුමක්ද? එතුමිය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කළා. ඊළගට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආවා. එතුමත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කළේ නැහැ.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත්වුණා. එහිදීත් මුල් ප්‍රතිපත්තියම ක්‍රියාත්මක වුණා. දැන් මරණ දඬුවම යළිත් ක්‍රියාත්මතක කරන්න යෝජනා කර තිබෙනවා. ඒ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩකළ විශාලතම පක්ෂයේ ප්‍රතිපත්තිවලටත්, පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂයේ ප්‍රතිපත්තිවලටත් විරුද්ධයි” යැයි ඒ මහතා පැවසීය.

( ඡායාරූප -ගයාන් අමරසේකර)