‘තවුහිත් ජමාත් තහනම් කරනවා’


(අජන්ත කුමාර අගලකඩ)
 
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානය තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේ අද(26) පැවැති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළේය.
 
ඒ සඳහා දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන බැවින් නව පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරගෙන යන බවද ජනාධිපතිවරයා පැවසීය.
 
එතෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම සංවිධානය තහනම් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ 140ක පමණ පිරිසක් ලංකාවේ සිටින බවත් එම සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.
 
මේ අතර දැනටමත් 70කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
 
මෙම අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට හැකිවනු ඇති බව කී ජනාධිපතිවරයා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව කටයුතු සිදුකරගත යුතු බවද පැවසීය.