‘ජොන්ස්ටන් හිරගත කළාට වන්දි ඉල්ලා නඩු පවරනවා’


පුෂ්පකුමාර ජයරත්න
 
අසත්‍ය චෝදනාවක් ගොනු කර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාස එකහමාරක් පමණ සිරගත කර තැබීමට එරෙහිව වන්දි ඉල්ලා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) කුරුණෑගල දී ප්‍රකාශ කළේය.


සතොස මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ කුරුණෑගල මහාධිකරණයේ පැවති නඩුවක් අද නිදොස් කර නිදහස් කරන ලද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමු වී සුබ පැතීම සඳහා කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.


“ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රී මාසයකට වැඩි කාලයක් නිකරුණේ හිරේ හිටියා. හිරේ දැම්මා විතරක් නෙවෙයි එතුමාට නිලධාරීන් යොදවලා හිරිහැර පවා කළා. මේ නිසා අපේ පළමු පියවර තමයි මේ හිරිහැර කිරීමට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරීම.


ඊළඟට එතුමාට අසත්‍ය චෝදනා එල්ල කරලා නිකරුණේ හිරේට දැමීම එෆ්සී අයි ඩී ඒ නිලධාරීන්ට එරෙහිව අලාභ ඉල්ලලා අනිවාර්යයෙන් ම නඩු දානවා.


මේ එෆ් සී අයි ඩීය කියන්නේ නීතිවිරෝධී ආයතනයක්. රට පුරාම ඉන්න අපේ පක්ෂයට හිතවත් ක්‍රියාකාරී දේශපාලඥයින්ට බොරු චෝදනා එල්ල කරලා ඔවුන්ව සිරගත කිරීම තමයි මේ ආයතනයේ ප්‍රධානම කාර්යය. 


මේ වැඩේ නවත්වලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අපි සියලුම දෙනා එක්වී මේ ආණ්ඩුව පෙරලා දැමිය යුතුයි. දවසින් දවසම මේ  ආණ්ඩුවේ ආයුෂ කෙටි වේගෙන එනවා” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.