‘ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීම මාධ්‍ය නිදහසට මරු පහරක්’


(නිමල කොඩිතුවක්කු)
 
ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට එල්ල කළ මරු පහරක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවැසූහ.
 
එම වරද නිවැරදි කිරීමට ජනාධිපතිවරයා වහා ක‍්‍රියා කළ යුතු  බවත් පැවසූ උන්වහන්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි සියලු බලවේග පරාජය කිරීමට කොන්දේසි විරහිතව සහාය දෙන බවත් සඳහන් කළහ.
 
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ මෙසේද කීහ.
 
“ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සුදු ඇඳගෙන දේශප්‍රේමියෙක් විදියට පෙනී හිටිනවා. ඔහු ගත්ත දේශපාලන තීන්දු දිහා බලපුවහම එහෙම දේශප්‍රේමීත්වයක් පේන්න නැහැ. දින 52 දේශපාලන කුමන්ත‍්‍රණයෙන් ඔහු මේ රටට විශාල හානියක් සිදුකළා. එයින් අපේ දේශපාලනයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල කැළලක් ඇති වුණා.
 
දැන් ජනාධිපතිවරයා ඔහු යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයට ජාතික රූපවාහිනිය පවරගෙන තියෙනවා.  ජාතික රූපවාහිනිය යනු රජය සතු ඉහළම මාධ්‍ය නාලිකාවක්. එවැනි මාධ්‍ය ආයතනයක් ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ජාත්‍යන්තර අවධානය යොමු කරන්නක්. දින 52 දී වගේම මේ කාරණාවේදීත් එතුමා අපේ රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කර තිබෙනවා. 

පරිසර, සමාජ සුබසාධන වැනි අමාත්‍යංශයක් යටතට ජාතික රූපවාහිනිය පවරගත්තා නම් අපට මෙච්චර ගැටලුවක් නැහැ. ජනාධිපතිවරයා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරගෙන මේ ලබා දුන්න සංඥාව එතරම් හොඳ එකක් නෙමෙයි. ඒනිසා වහාම මෙම තීරණය නිවැරදි කළ යුතුයි.
 
2020 ජනාධිපතිවරණය අපි 2015 දිගුවක් සේ සලකා කටයුතු කරනවා.  2015 දී රටට හතුරු ප‍්‍රතිපත්ති පරාජය කරලා සැලකිය යුතු ජයග‍්‍රහණයක් අපි අත්පත් කරගෙන තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී හොඳම අපේක්ෂකයා තේරීමේ තරගය දැන් අපිට තිබෙනවා. ජනතාවත් අද බලාගෙන ඉන්නේ යහපාලන කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලායි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට අනුව අපි මේ තෝරා ගැනීම සිදු කරනවා.
 
ජනතාවට අපි කියනවා කලබල වෙන්න එපා කියලා. පවුලක් විසින් තෝරන අපේක්ෂකයෙක් දාන්න අපි කටයුතු කරන්නේ නැහැ. පවුලක් විසින් තෝරපු ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත් කිරීම කිසිදු ගැටලුවක් නැහැ. අපි ඔහු පරාජය කිරීමට කටයුතු කරනවා.
 
දැන් එතුමා අධිකරණය මග අරින්න උත්සාහ කරමින් සිටිනවා. අධිකරණයට මුහුණදෙන්න බැරි කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහනවා.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එනවා නම් සිවිල් පුරවැසි බලවේග විදියට ඔහු ජනාධිපති වීම වැළැක්වීම සඳහා අවශය සියලු ක‍්‍රියාමාර්ග අපි ගන්නවා” යැයිද උන්වහන්සේ පැවසූහ.
 
(ඡායාරූප - ඉෂාන් සංජීව)