‘ජනපති අපේක්ෂකයෝ 6දෙනෙක් වත්කම් බැරකම් ප්‍රකාශ බාර දී නැහැ’


(බිඟුන් මේනක ගමගේ) 

ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනා අතරින් අපේක්ෂකයන් හයදෙනෙකු මේ වනතුරු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නැතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(24) ‘ලංකාදීප’ යට පැවැසීය. 

නියමිත කාල සීමාව තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන ජනාධිපති අපේක්ෂකයින් සඳහා නඩු පැවරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන්නේ යැයි ද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මෙම අපේක්ෂකයින් අතරින් අපේක්ෂයෙකු පිළිගත් දේශපාල පක්ෂයක් නියෝජනය කරන අයෙකු යැයි ද අනිකුත් අපේක්ෂකයින් පස් දෙනා ස්වාධීන අපේකෂකයින් ලෙස නාමයෝජනා ලබාදී ඇතැයි ද සභාපතිවරයා කීවේය.

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන අපේකෂකයකුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට මාස 3ක  කාලයක් ලබාදී ඇතැයි ද මැතිවරණ නීතියට අනුව ජයග්‍රහණය කරන අපේක්ෂකයා දිවුරුම්දීමට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු යැයි ද දේශප්‍රිය මහතා පැවසීය.

පරාජය වුවහොත් 2020 ජනවාරි 06 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු යැයි ද කී හෙතෙම මේ බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයන් හය දෙනාට ලිපි යොමු කළේ යැයි ද පැවසීය.

කෙසේවෙතත් වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ලබා නොදුන් අපේක්ෂකයන්ගේ නම් හෙළි කළ නොහැකි යැයි ද මහින්ද දේශප්‍රිය මහතා කීය.

නාමයෝජනා ලබාදෙන විටම වත්කම් බැරකම් ප්‍රකාශ ද ලබා දී එම ප්‍රකාශ සිය නිල වෙබ් අඩවි මගින් ජනතාවට දැකගත හැකි සේ ප්‍රසිද්ධිය පත්කරන්නැයි මැතිවරණ කොමිසම සියලු අපේක්ෂකයන්ගෙන් මීට පෙර ඉල්ලා සිටියේ යැයි ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.