‘ජනකොටස්වල එකමුතුව බිඳින්න ජාතිවාදීන්ට ඉඩදෙන්නෙපා’


(අංජුල මහික වීරරත්න)
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලු ජන කොටස් එකමුතු වූ නමුත්, ඉන්පසු දේශපාලනික සහ ජාතිවාදී ලෙස සංවිධානය වූ ඇතැම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින්නේ යැයිද,  ඊට ඉඩ නොතැබිය යුතුයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පැවැසීය.

පසුගිය සති අන්තයේ පැවැති සත්‍යග්‍රහ  සහ ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාර හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් තනතුරු අත්හැරීමත් මුස්ලිම් ජනතාව සමාජයෙන් ඈත්වීමත් සුභදායී තත්ත්වයක් නොවන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය. 

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන්කළ ප්‍රකාශය සමඟ සම්පූර්ණයෙන් එකඟ වෙන බවත්, ජාතීන් වශයෙන් බෙදීම ඉතා නරක තත්ත්වයක් බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (06) ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.