(විනීතා එම් ගමගේ)
වතු කම්කරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උදෑසන නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය වතුහිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
සාමාන්‍යයෙන් වතු කම්කරුවන්ට ඡන්දය ලබාදීම සඳහා නිවාඩු ලබා දෙන්නේ පස්වරුවේ වන නමුත් මෙවර ඡන්දය විශේෂයක් සේ සලකා පෙරවරුවේ නිවාඩු දෙන්නැයි හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
මෙවර ඡන්ද පත්‍රිකාව දිගැති එකක් වන බැවින් එය කියවා ගැනීමට තරමක කාලයක් ගත වන බවත් අඩු අධ්‍යාපනයක් ඇති වතුකම්කරුවන්ට සවස් වරුවේ නිවාඩු දීමෙන් කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඡන්දය දීමට වේලාව ප්‍රමාණවත් නොවීමට ඉඩ කඩ ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
උදෑසනින් ඡන්දපොළට යාමෙන් ඡන්දපොළ පෝලිමේ සිටීමට සිදුනොවනු ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් විශාල බැවින් ඡන්දය භාවිතා කිරීමට තරමක් වේලා ගත වන බවත් මේ නිසා පෝලිමේ රැඳී සිටිමට සිදුවන කාලය තරමක් වැඩි වනු ඇති බවත් කියා සිටියේය.
වලංගු හැඳුනුම්පතක් රැගෙන යන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටි ඔහු ඡන්ද කොලය ඇත්නම් එය ගෙන යන ලෙසත් එය නැතත් ලැයිස්තුවේ නම ඇත්නම් ඡන්දය භාවිතා කළ හැකි බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පොලවල රැඳී සිටීමෙන් වළකින්නැයි හෙතෙම තව දුරටත් සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

