
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකව වීරරත්න)
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ළමයි තිදෙනකු ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය 4 වැනිදා සෙනසුරාදා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇතැයි තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව පැවසූ විපක්ෂ නායකවරයා අපයෝජනයට ලක්වූ එම දරුවන් වෛද්‍යවරයෙකුට පවා ඉදිරිපත් කර නැති බව සඳහන් කළේය
මෙම අපයෝජනය කළ පාපතරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු කීවේය.
ගුරුවරුන් දෙදෙනෙකු මේ සිද්ධිය ගැන විදුහල්පතිවරයාගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඔහු ඔවුන්ට තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් උසාවි ගාණේ රස්තියාදු වේවි යැයි පවසමින් මවුපියන් බිය ගැන්වීමක්ද එහිදී සිදුවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමටද කැඳවීමක් තිබෙන බව ඔහු කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුවා සේම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද
සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්නැයිද විපක්ෂ නායකවරයා මෙහිදී රජයෙන්ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ දරුවන්ට සිදුවන හිංසන වලට එරෙහිව රජය දැඩිව කටයුතු කරන බවයි.
දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා මේ කාරණය ගැන පොලිසියේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් විශේෂ අවධානය යොමුවී ඇතැයි සඳහන් කළේය
මෙවැනි සිදුවීම් රජය සුළු කොට නොතකන බවද ඔහු සඳහන් කළේය.
එසේම මෙවැනි සිද්ධීන් දරුවන් අපහසුතාවයට පත් නොවන ආකාරයට වාර්තා කිරීමට මාධ්‍යයටද වගකීමක් තිබෙන බව නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

