‘කැෆේන්’ තහනම් උත්තේජක ලැයිස්තුවෙන් ඉවතට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ක්‍රීඩා  නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙසේ අනුමැතිය ලබාදී ඇත

මෙහිදී ක්‍රීඩාවට අදාළව  ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (World Anti-Doping Agency / WADA) මගින් සෑම වසරකට වරක් ප්‍රසිද්ධියට පත් කරන ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ද  මෙම ගැසට් පත්‍රය මගින් අදාළ නීතිමය යාවත්කාලීන කිරීම සිදුකරන බව  නිලධාරීහු පැවසූහ.

මෙහිදි ඇතැම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවට අලුතින් එක්වන බවත් ඇතැම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් වන බවත් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. උදාහරණයක් ලෙස ‘කැෆේන්’ නම් ද්‍රව්‍ය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව නිලධාරීහු සඳහන් කළහ.