‘කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට දුන්නැයි මෝදිගෙන් චෝදනාවක්’


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය 1974 වසරේ දී ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවති විවාදයේදී කොංග්‍රස් පක්ෂයට චෝදනා කළේය.

එපමණක් නොව ඉන්දියාව තුළ බෙදීමක් ඇතිවූයේ ද ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය පැවති කාලයේ බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසුවේය.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ රාමේශ්වරම් අතර පැවති දූපතක් බවත් සම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් මෙම දූපත මසුන් ඇල්ලීම සඳහා භාවිත කළත් 1974 දී   ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය හඳුනාගත් බවත් අග්‍රාමාත්‍ය මෝදි මහතා සඳහන් කර ඇත.

එසේම දේශපාලනය වෙනුවෙන් කොංග්‍රස් පක්ෂය ඉන්දියාව කොටස් තුනකට බෙදා වෙන්කළ බව අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදී චෝදනා කළේය.