‘එල්ලුම්ගහ යළි ක‍්‍රියාත්මක කිරීම නරක පූර්වාදර්ශයක්’


(අජිත්ලාල් ශාන්තඋදය,  ජයන්ත නානායක්කර සහ පී.ආර්.ගමගේ)
 

බෞද්ධ රටක් වූ ශ‍්‍රී ලංකාවේ එල්ලුම්ගහ යළි ක‍්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප‍්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා මඩුවන්වලදී පැවසීය.
 
කොළොන්න මඩුවන්වල සාරනන්ද විද්‍යාලයේ ගුරුවරියක වූ එච්.එම්. නිලූකා ජයතුංග මහත්මිය විසින් රචනා කරන ලද ‘ප්‍රායෝගික උඩරට නර්ථනය’ නම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමෙන් පසු, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
චමල් රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.
 
“එල්ලුම්ගහ නැති කළේ බණ්ඩාරනායක මහත්තයා. ඒ මහත්තයා ඝාතනය කරපු වෙලාවේ, නැවත එල්ලුම්ගහ ක‍්‍රියාත්මක කරන්න අවසර ඉල්ලපු අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් විරුද්ධ වුණා. ඒ නිසා එල්ලුම්ගහ නැවත වතාවක් ගේන්න හොඳ නෑ”
 
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙස ඉල්ලීමක් ලැබුණොත්, එය පිළිගන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් චමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ එය පක්‍ෂයේ සහ ජනතාවගේ කැමැත්ත මත සිදුවනු ඇති බවයි.
 
කෙසේ වෙතත් ලබන 11වැනිදා පක්‍ෂ සම්මේලනයේ දී පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂකයා කවුද යන්න ප‍්‍රසිද්ධ වනු ඇති බව ද  ඒ මහතා කීවේය.
 
භික්‍ෂුන් වහන්සේලා, විදුහල්පතිවරු, ගුරුවරු, මව්පියවරු සහ පාසල් සිසුහු රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.