‘එජාපයට විරුද්ධව කටයුතු කරන අය පක්ෂයෙන් ඉවත් කරනවා’



(සුදත් එච්. එම්. හේවා)
 
සමගි ජන බලවේගය වෙනම පක්ෂයක්ය යන්න පැහැදිලි බව අධිකරණය මගින් ප්‍රකාශ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා විසින් හැටන් නගරයේ සංවිධානය කරන ලද පාක්ෂික හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසන ලදි.
 
එහිදි වැඩිදුරටත් කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
 
“ සමහර අය අපේ පක්ෂ කාර්යාලය අල්ලා ගන්නා බව කියනවා. ඔවුන් අපේ පක්ෂ කාර්යාලය අල්ලන්න ආවොත් පොලිසි  උසාවි ගානේ යන්න ඔවුන්ට සිදුවෙයි. අපි බලය ඉල්ලන්නේ කාර්යාල අල්ලන්න නොවෙයි, මේ රටේ බලය ගන්නයි. සමගි ජන බලවේගයේ පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළවිට ඔවුන් අධිකරණයට ගියා. එහිදි අධිකරණය එම ඉවත් කිරීම හරි බව පැවසුවා. පසුව ඔවුන් මහධිකරණයට ගියා. එහිදිත් එය හරි බව පැවසුවා. ඔවුන්ට අවශ්‍ය නම් ජාත්‍යන්තර අධිකරණයට යන්නත් පුලුවන්. නැතිනම් ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට යන්නත් පුලුවන්. ඒත් තීන්දුව එකයි. පක්ෂයට විරුද්ධව කටයුතු කරන පළාත් පාලන නියෝජිතයන් පවා ඉවත් කිරීමට පියවර ගන්නවා.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය වැඩ කරලා තියෙනවා. මහවැලිය ආරම්භ කළෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වතුකරයටත් අපි වැඩ කරලා තියෙනවා. සිරිමා ශාස්ත්‍රිය ගිවිසුම යටතේ ඉතිරි පිරිසට ඡන්ද අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර් ජයවර්ධන මහතායි. තවත් පිරිසකට මම එය ලබාදීමට පියවර ගත්තා.
 
වතුකරයේ පාසල් සංවර්ධන කර උසස් පෙළ පංති ආරම්භ කිරීමට පියවර ගත්තා. ශ්‍රීපාද විද්‍යාපීඨය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මගේ යෝජනාවක් මතයි. ඒ සදහා සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතා උදවු කළා.  වතුවලට විශේෂ සුභ සාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තා. 

‘ළඟම පාසල-හොඳම පාසල’ යටතේ මෙම ප්‍රදේශයේ පාසල් සංවර්ධනය කිරීමට පියවර ගත්තා අපේ අඩු පාඩුත් තිබුණා. ඒත් අපි කාටවත් බනින්නේ නැහැ. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ඇවිත් දික්ඔය රෝහල විවෘත කඑළා පසුව නොර්වුඩ්වල රැස්වීමක් තිබ්බා. ඉන්දීය රජය මගින් වතුකරයට මුලින් ගෙවල් 12,000ක් දුන්නා, පසුව තවත් ගෙවල් 4000ක් දුන්නා. ඒත් එය හරියට කලේ නැහැ. එය හරියට කලා නම් තවත් උදවු ගන්න තිබුණා. අද වතුකරයේ පිරිස් නගරයේ රැකියා කරනවා. ඒත් දැන් කොරෝනා නිසා ඒ අයට රැකියා නැහැ. කොරෝනා නිසා රටේ ආර්ථිකය කඩා වැටිලා දවසකට කොරෝනා පරීක්ෂණ 5000ක් කළ යුතුයි. කොරෝනා දෙවන රැල්ල එනවා එය ඡන්දයට පෙර එන්නත් පුලුවන් ඡන්දයෙන් පසුව එන්නත් පුලුවන්. දැන් කොරෝනාවට අමතරව ඩෙංගුත් එනවා. මේ තුළින් රටේ ආදායම අඩාල වෙනවා.
 
මට අවශ්‍ය රටේ ආර්ථිකය නගා සිටුවන්නයි. ඒ සඳහා රුපියල ශක්තිමත් කළ යුතුයි. එවිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ කර්මාන්තවලට ආධාර දිය යුතුයි. කර්මාන්තවල චේතන ගෙවන්න කටයුතු කළ යුතුයි. රැකියාවන් ආරක්ෂා කර දිමට පියවර ගත යුතුයි. මම ආණ්ඩුව එක්ක ඩීල් දානවා කියලා දැන් කියනවා. මට ආණ්ඩු එක්ක ඩීල් දාන්න ඕන නැහැ. මට අවශ්‍ය මේ රටේ පාලන බලය ලබා ගන්නයි. එසේ පාලන බලය ලබා ගෙන මේ රටේ ආර්ථිකය නගා සිටුවන්නයි. ඒ තුළින් මේ රටේ මිනිසුන්ට අතට සල්ලි එන ක්‍රමයක් සකස් කළ යුතුයි.මේ රට සංවර්ධනය කරන්න නම්, මේ රටේ මිනිසුන්ගේ අතට සල්ලි එන ක්‍රමයක් හදන්න ඕන නම්, මේ ආර්ථිකය ශක්තිමත් කරන්න  ඕන නම් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න” යැයිද ඒ මහතා කීය.
 
එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂයකන් වන  නවින් දිසානායක, කේ. කේ. පියදාස යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.