
මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම නවත්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට පැවැසීය.
බුද්ධි සේවාව නැවත ගොඩ නගමින් සහ පුරවැසියන් සුපරීක්ෂණයට ලක් කරමින් ඉස්ලාමීය අන්තවාදය නවතා දමන බව ද ඔහු කීවේය.
රොයිටර් පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (26) එම කරුණු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනප්‍රිය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ලෙසය. මීට වසර දහයකට පෙර, වසර 26ක් මුළුල්ලේ පැවැති බෙදුම්වාදී දෙමළ කැරැලිකරුවන් පරාජයට පත් කිරීමට නායකත්වය දීම නිසා ඔවුන් දෙදෙනා ජන ප්‍රසාදයට පත්විය.
කිතුණු බැතිමතුන්ගේ පාස්කු ඉරිදාව පසුගිය ඉරිදා (21) යෙදී තිබිණි. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
එම ප්‍රහාරවල වගකීම ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය බාරගත් අතර රජය ඉස්ලාමීය සටන්කාමීන්ට එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා කළේය.
වත්මන් ආණ්ඩුව යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේ දී ගොඩනගනු ලැබූ බුද්ධි ජාලය සහ පුළුල් සුපරීක්ෂණ හැකියාවන් කඩා කප්පල් හා දුර්වල නොකළ නම් පාස්කු ඉරිදා ප්‍රහාර වළක්වා ගත හැකිව තිබූ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
“ආණ්ඩුව සූදානමින් හිටියේ නැහැ. ඒක නිසා තමයි මෙච්චර බියක් දක්නට ලැබුණේ” යැයි ඔහු කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාස කිහිපයක සිට විවිධ පුවත් සහ වාර්තා පළ විය. ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි 100% තහවුරු කළේය.
බෝම්බ ප්‍රහාරවලින් පසුව ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූ අයුරු ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විවේචනයට ලක්විය. ප්‍රහාර මාලාවෙන් පසුව ප්‍රහාර එල්ල කළේ කෙසේ ද, ප්‍රහාර පිටුපස සිටින්නේ කවුද සහ ඉස්ලාමික් ස්ටේට් සංවිධානය රටට කොතරම් තර්ජනයක් ද එය කොතරම් බරපතළ ද යන්න ප්‍රකාශ කිරීමට ආණ්ඩුව අපොහොසත් විය.
“එක එක අය එක එක අයට බනිනවා. කවුරුවත් හරි විස්තරයක් කියන්නේ නැහැ. මිනිස්සු වුණත් කවුද කළේ, කරපු අයගේ නම්ගම් බලාපොරොත්තු වෙනවා. මොන සංවිධානය ද මේක කළේ, මොවුන් මෙතරම් ලොකු ප්‍රහාරයක් කළේ කොහොමද කියන දේ ගැන විස්තර බලාපොරොත්තු වෙනවා. එහෙත් කිසිදු පැහැදිලි කිරීමක් විස්තරයක් තිබුණේ නැහැ” යැයි ඔහු කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවෙන් නඩු දෙකක් පැවැරී ඇත. ඔහු ද්විත්ව පුරවැසියෙකි. එම චෝදනා සහ සිවිල් නඩුවලට කිසිදු පදනමක් නොමැති බවත් තමන් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බවත් රාජපක්ෂ මහතා කීවේය. එම නඩු ඉතා පුංචි බාධාවක් පමණක් බව ද ඔහු පැවැසීය.
ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි තමන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් එම ක්‍රියාවලිය දැනටමත් අවසන් වී ඇතැයි බවත් ඔහු කීය. තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ‘අන්තවාදී ඉස්ලාම්’ තර්ජනය අවසන් කරන බව ද ආරක්ෂක අංශ ශක්තිමත් කරමින් ආරක්ෂක සැලැස්ම සහ පද්ධතිය නැවත ගොඩනගන බව ද හෙතෙම කීවේය.
“ඒක බරපතළ ප්‍රශ්නයක්. මේ වගේ සංවිධාන ගැන හොඳට හොයන්න ඕනේ. ගැඹුරට හොයන්න ඕනේ. මේ වගේ සංවිධාන විනාශ කරලා දාන්න ඕනේ. තමන් බලයට පැමිණියොත් බුද්ධි අංශවලට තොරතුරු හොයන්න බලය දෙනවා. ආරක්ෂක අංශවලට ඒ අවශ්‍ය බලය දෙනවා. ඒ වගේම පුංචි පුංචි කණ්ඩායම් ගැන පරීක්ෂාවෙන් ඉන්නවා. අන්තවාදී බවට හැරෙන කණ්ඩායම් එයින් වළක්වන්න අවශ්‍ය බලය ආරක්ෂක අංශවලට දෙනවා” යැයි ඔහු කීවේය.
වසර 2011 දී සන්නද්ධ බුද්ධි අංශයක් ස්ථාපිත කළ බවත් එහි 5,000කට ආසන්න පිරිසක් සිටි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය. එහි අරාබි බස හැසිරවිය හැකි පිරිස් ද සිටි බවත් ඔවුන් අන්තවාදී අදහස් දරන කණ්ඩායම් සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටි බවත් ඔහු කීවේය. වත්මන් ආණ්ඩුව එම අංශය විසුරුවා හැරි බව ද ඔහු කීය.
“වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. එතැන පටළැවිල්ලක් තිබුණා. ඔවුන් වාර්ගික සංහිඳියාව ගැන කතා කළා, ඔවුන් මානව හිමිකම් ගැන කතා කළා. ඔවුන්ගේ පුද්ගල නිදහස ගැන කතා කළා” යැයි ඔහු පැවැසීය.
රොයිටර් ඇසුරිනි
055

