(ඩයනා උදයංගනී)
මෙවර ජනාධිපතිවරණයේ දී රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ රටක මූලික ලක්ෂණයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සාධාරණ හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවන ලෙස තමන් ආරක්ෂක සහ පොලිසිය විෂය භාර අමාත්‍යවරයා ලෙස එම අංශවලට උපදෙස් දී තිබෙන බව කී ජනාධිපතිවරයා මෙවර මැතිවරණය ඓතිහාසික මැතිවරණයක් බවට පත්වන්නේ තමාගේ එම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය හේතුවෙන් බව ද කියාසිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (15) පැවති උත්සවයක් අමතමිනි.
විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගැයීමට ලක් කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

