‘ඇමෙරිකාව ලංකාවේ හමුදා කඳවුරු සාදාගැනීමට තැත්කිරීම ගැන පුදුම වියයුතු නැහැ’


(මුදිතා දයානන්ද)
 
ඉන්දියානු සාගරයේ ඇමරිකාව පවත්වාගෙන ගිය ප්‍රධානතම යුද හමුදා කඳවුර වූ දියාගෝ ගාර්ෂියාව ඔවුන්ට අහිමිවීමත් සමඟ, උපායමාර්ගිකව ඉතා වැදගත් පිහිටීමක පවතින ලංකාවේ හමුදා කඳවුරු හදාගැනීමට ඇමෙරිකාව උත්සාහ කිරීම ගැන පුදුමවීමට දෙයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (22 ) පැවසීය.
            
ඔහු මේ බව පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් මෙසේද පැවසීය.
            
“ඇමෙරිකානු විදේශ සබඳතා පිළිබඳ සෙනෙට් අනුකමිටුව 2009 දී නිකුත් කළ ලංකාව පිළිබඳ සිය වාර්තාවේ 12  වන පිටුවේ, ඉන්දියානු සාගරයේ හරි මැද ලංකාව පිහිටීම ගැනත්, ශ්‍රී ලංකාව සමඟ හොඳින් සිටීමේ වැදගත්කමත් සඳහන් කර තිබෙනවා. 
            
ලංකාව පිහිටා තිබෙන්නේ එක පැත්තකින් ඉන්දියාවට කිලෝ මීටර් 32ක් නුදුරින්.  අනිත් අතින් චීනයේ සැපයුම් මාර්ගය වන මුහුදු සේද මාවතේ හරි මැද. ඒ නිසා මේ රටවල් දෙකටම බලපෑම් කරන්නත් ලංකාව වැදගත් වෙනවා.
            
මුරිසිය යටත් කරගෙන සිටිය ඉංග්‍රීසීන් 1965 දී දියේගො ගාර්ෂියා මුරුසියෙන් වෙන් කරලා ඇමෙරිකාවට බදු දුන්නා.  ඇමෙරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධානතම කඳවුර පිහිටුවූයේ දියේගො ගාර්ෂියාවලයි.  2019 පෙබරවාරි 25 දා දියේගො ගාර්ෂියාව මුරුසියට භාර දෙන ලෙස ජාත්‍යන්තර අධිකරණය තීන්දු කරනවා.  මේ නිසා ඉන්දියානු සාගරයේ තිබූ ප්‍රධානතම යුද කඳවුර තමන්ට අහිමි වීමේ අවදානමක් ඇමෙරිකාවට මතු වෙනවා.
            
තායිලන්තයේ ක්‍රා - ඇළ කැපීමට චීනය සමත් වුණොත් මුහුදු සේද මාවතේ මර්මස්ථානය බවට පත් වන්නේ හම්බන්තොට වරායයි.  චීනයට අවශ්‍ය ඉන්ධනවලින් 80%ක් ගෙනි යන්නේ හම්බන්තොට හරහා.  එතකොට ලංකාව පාලනය කරනවා කියන්නේ චීනයේ සැපයුම් පාලනය කරනවා කියන එකයි.

ඉහත හේතු මත ඇමෙරිකාවට ලංකාවේ හමුදා කඳවුරු පිහිටුවීම අත්‍යාවශ්‍ය වී තිබෙනවා.  ඒ නිසා ඊළඟ ඡන්දයට පෙර ලංකාව සමඟ අත්සන් කරන්න තියෙන ගිවිසුම් සියල්ල කඩිමුඩියේ අත්සන් කර ගැනීමේ අවදානමක් තිබෙනවා.
            
වර්තමාන ආණ්ඩුව 2017 අගෝස්තු 4 වන දා ඇමෙරිකානු ආණ්ඩුව සමග ඇක්සා ගිවිසුම අත්සන් කළ බව ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා පසුගිය පෙබරවාරි 22ත් අගමැතිතුමා ජූලි 12 දාත් පාර්ලිමේන්තුවේ දී පිළිගත්තා. අපි 2017 අත්සන් කළ ඇක්සා ගිවිසුම බදාගෙන ඒකෙන් රටට වෙන හානිය පෙන්වා දෙනවා.  නමුත් ඇමෙරිකාව කියන විධියට ඒ ගිවිසුම යළිත් අලුත් කරන්න මේ දිනවල සාකච්ඡා කරමින් යනවා. 
            
2017 අත්සන් කළ ගිවිසුම 2019 කඩිමුඩියේ අලුත් කරන්නේ ඇයි? ඇමෙරිකාව හදපු ගිවිසුමට තවම ලංකාවේ හමුදා එකඟ වෙලා නැතිලු. මේ ගිවිසුමේ අන්තර් ගත කරුණු මොනවා ද?  ඒවායෙන් රටට අත් වන බලපෑම කුමක්ද? යන්න ගිවිසුම අත්සන් කිරීමට පෙර සාකච්ඡා කළ යුතුයි.  පාර්ලිමේන්තුවේ විවාද කළ යුතුයි” යැයිද ඒ මහතා පැවසීය.