(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩම් විශාල ප්‍රමාණයක් මේවන විටත් දේශපාලඥයන්ගේ හිත මිතුරන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇතැයි ‘අපි පුරවැසියෝ’ සංවිධානයේ සම කැඳවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
අනුරාධපුර තුන්වන පියවරේ පිහිටි ඒ මහතාගේ නිවසේ අද(03) පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසීය.එම මාධ්‍ය හමුවේදි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.
“අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රාජ්‍ය ආයතන සතු ඉඩම් විශාල ප්‍රමාණයක් මේවන විට විවිධ පුද්ගලයන් විසින් අත්පත් කර ගෙන තිබෙනවා. එම ක්‍රියාවලිය තවදුරටත් සිදුවෙමින් පවතිනවා. මේ සඳහා අනුරාධපුරේ ප්‍රබල දේශපාලඥයන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලැබෙනවා.
අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලට පිවිසෙන පිවිසුම් මාර්ගයත් මේවන විට පුද්ගලයෙක් විසින් බලහත් කාරයෙන් අත්පත්කර ගෙන තිබෙනවා. නොච්චියාගම විද්‍යාදර්ශි විද්‍යාලයේ ඉඩම් අත්පත්කර ගෙන තිබෙනවා. මැදවච්චිය ඉකිරිගොල්ලැව විද්‍යාලයේ ඉඩමක් අත්පත් කර ගෙන තිබෙනවා. පෙර කාලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් රැසකට කුඹුරු ඉඩම් පවා තිබුනා. අද ඒ සියල්ලත් දේශපාලඥයන්ගේ හිතුවතුන් බලහත් කාරයෙන් අත්පත්කර ගෙන තිබෙනවා.
ඒ වාගේම දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති අනුරාධපුරේ පිහිටි ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නුවර වැවට අයිති රක්ෂිත ඉඩම් අල්ලා ගෙන. රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයිති අනුරාධපුර නව නගරයේ පිහිටි ඉඩමත් සමහරුන් බලෙන් අල්ලා ගෙන නිවාස හදලා. මේ උදාහරණ කිහිපයක් පමණයි. මේවන විට රජයේ ඉඩම් වලින් 90%ක් පමණ බලහත්කාරයෙන් අත්පත්කරගෙන.
මෙම ඉඩම් බලහත් කාරයෙන් අත්පත්කර ගෙන පසුව ඒවා නීත්‍යානුකූල තත්වයට පත්කර ගන්නවා.මේ සඳහා දේශපාලඥයන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩකඩම් සහ ගොඩනැගිලි සදහා නීත්‍යනුකූල හිමිකම දැක්වෙන ඔප්පු නොමැතිකමත් මීට හේතුවක්”
උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් එච්.එම්.පී.බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
“පාසල්වලට අයිති ඉඩම්, ගොඩනැගිලිවල අයිතිය තහවුරු කරගැනීම සදහා ඒවායේ මිණුම් කටයුතු සිදුකිරීමට අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබෙනවා. ඒ අනුව එම ඉඩම්වල මිණුම් කටයුතු අවසන් කරාම ඒ සදහා ඔප්පු ලබාදිමට පියවර ගන්නවා. අනවසර ඉදිකිරිම් වෙනුවෙන් සම්බන්ධ විම සදහා පළාත් සභාවට බලයක් නැහැ” ඒ මහතා මෙහිදි පැවසීය.

