‘අධිකරණයේ ස්වාධීනත්වය-ජන විශ්වාසය රකිනවා‘


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා අද ( 22) කියා සිටියේ ය.

විශේෂයෙන්ම දූෂණයෙන් තොර අධිකරණ පද්ධතියක් මෙරට ඇති කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද නව අගවිනිසුරුවරයා එහිදී කියා සිටියේය.


නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්වූ අතර එහිදී අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේය.


උපරිමාධිකරණයේ විශේෂ අධිකරණ ශාලාවේ මෙම පිළිගැනීමේ උත්සවය පැවති අතර නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගනිමින් නීතිපති හා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ .ආර්. ද සිල්වා යන මහත්වරුන් කතා පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව සභව ඇමතූ අගවිනිසුරුවරයා මෙසේද කීය.


අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය සහ ගරුත්වය තහවුරු වීමට නම් එහි අපක්ෂපාතී භාවය තහවුරු කිරිම ඉතා වැදගත් බව පෙන්වා දුන් අගවිනිසුරුවරයා ජනතාව ද අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි වඩාත් අවධානයකින් පසුවිය යුතුයි .


එමෙන්ම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පවතින මහජන මැසිවිලි අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව හෙතෙම කීය.


තම කතාව අතරතුර දී කිහිප වතාවක්ම බයිබලයේ අන්තර්ගත ප්‍රකාශ උපුටා දක්වමින්, අදහස් පලකල අගවිනිසුරු නලින් පෙරේරා මහතා අධිකරණ ක්ෂේත්‍රයේ පහළ මට්ටමක සිට ඉහළ දක්වා සියලුම ආකාරයේ තනතුරු දැරූ තමා වැනි පුද්ගලයෙකු අගවිනිසුරුධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කරන බව අගවිනිසුරු නලින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.


මෙම පිළිගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරුන් සහභාගි වී සිටියහ.


මෙම උත්සවය සඳහා ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.