(අංජුල මහික වීරරත්න)
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කම්මුතු කරන්නෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර ඇතැයිද එහෙත් අද රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්‍ෂිත කරන්නෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පැවැසීය.
එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය මෙන්ම සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ද කම්මුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් පැවසූයේ ගතවූ වසර කිහිපය තුළ ආණ්ඩුව විවිධ අපහසුතා මධ්‍යයේ ගොඩනැගූ සංවර්ධනයත් රටත්, විනාශ කරන කම්මුතුකරුවෙකුට රට බාර නොදී රටත්, අනාගතයත් ආරක්ෂා කරගන්නා ලෙස තමන් සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ය.
එම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ මැදිහත්වීමෙන් සිදුකර තිබෙන සංවර්ධන කටයුතු හා ඉදිරි පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“පසුගිය වසර කිහිපය තුල රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. නව යුගයක් කරා රට ගෙන යාම අපේ අරමුණයි. අද රටට හොඳ පිළිගැනීමක් තිබෙනවා. අප සිදුකළ මෙම වැඩකටයුතුවලින් රටට අනාගතයක් තිබෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා නම් රටේ අනාගතය ආරක්ෂා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කම්මුතු කරන්නෙකු බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා.
අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද? එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද?
කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා “
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු හා ප්‍රාදේශීය දේශපාලනඥයෝ රැසක් සහභාගී වී සිටියහ.

