(ඩයනා උදයංගනී)
රටේ බරපතල ප‍්‍රශ්නයක් වී ඇති කැළි කසල ප්රශ්නය සමඟ ඇතැම් දේශපාලනඥයින් සූදු කෙළින බවත්, බොරු වීරයින්වීමට යන එවැනි අය නිසා රටම විනාශය කරා ඇදී යන බවත්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රට පුරා කුණු කඳු 330 ක් ඇතැයි කී අමාත්‍යවරයා මීතොටමුල්ලේ 33 දෙනකු කුණු කන්දකට යට වී මියගිය පසුත් රටේ කාලකන්නි දේශපාලනයට එම ගැටලුවේ ස්වභාවය නොතේරීම ගැටලුවක් බව ද සඳහන් කළේය.
කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නයට අවුරුදු 80 ක් සඳහා විසඳුමක්දීමට පුත්තලමේ හිරිගල් වලවල්වල විද්‍යාත්මක කසල රඳවනයක් ඉදිකිරීම වැදගත් බව ද ඇමතිවරයා කීවේය.
ඇතැමුන් ගමට වීරයා වී එය නැවැත්වීමට උත්සාහ ගන්නා බව කී පාඨලී චම්පික රණවක මහතා මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් එම විද්‍යාත්මක විසඳුමට ඉඩදෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එම විසඳුම කඩාකප්පල් කළහොත් එය තමනුත්, තමන්ගේ රටත් විනාශ කිරීමක් බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
කසළ කළමනාකරණය පිළිබඳ ගැටලුව විසඳීම අනිවාර්යයෙන් කළ යුත්තක් බව කී ඇමතිවරයා රටේ ජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රශ්නය, රටේ අනාගතය, නාගරික සංවර්ධනය රැදී තිබෙන්නේ ඒ මත බව ද කීවේය.