හෝමාගම රෝහල තෙමසකට පසු යළි අරඹයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


හෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු  මාස තුනකට පසු අද (29)  උදෑසන 8 සිට යළි  ආරම්භ කළ  බව රෝහල් අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එහෙත්  බාහිර ප්‍රතිකාර ඒකකය ආරම්භ කෙරෙන්නේ 30 දා බවද විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කීය.

කොරෝනා  රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු මාස තුනක් අත්හිටුවා තිබු අතර එම රෝගය පාලනය වී  තිබීම හේතුවෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිර්දේශ මත මෙසේ යළි විවෘත කළ බවත් දින 14 ක් ඇතුළත අදියර කිහිපයක් ඔස්සේ රෝහල යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත්  පැවසේ.

ඒ අනුව අද (29)  සිට සියලුම සායන ආරම්භ කරන  අතර එම රෝගීන් පමණක්  වාට්ටු වලට ඇතුළත් කර ගන්නා  බවත්  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද ආරම්භ  කිරීමට පියවර ගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

මේ අතර මූලික ප්‍රතිකාර ඒකකය ආරම්භ කිරිම, 1990 සුවසැරිය ගිලන්රථ වලින් හා වෙනත් රෝහල්  වලින් මාරු කර එවන රෝගීන් භාරගනු ලබන්නේ එළඹෙන 06 දා සිට බවද පැවසේ.