(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුමතිපාල දියගහගේ )
තිහගොඩ කපුදූව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව සොරකම් කළ ගවයින් ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයකට අද (25) අලුයම වෙඩි තබා පසුපස ලුහු බැඳ ගොස් ලොරි රථය නවතා ගෙන ගවයින් 14 දෙනෙකු බේරා ගත් බව තිහගොඩ පොලීසිය පවසයි.
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයේ ඉන්ධන ටැංකියට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරය වැදී ඉන්ධන කාන්දු වීමට පටන් ගෙන තිබේ.
ඒ අනුව එම ලොරිය කිලෝ මීටර් දෙකක් පමණ ඉදිරියට ධාවනය වෙමින් තිබිය දී මාතර බණ්ඩත්තර වේල්ල ආසන්නයේ දී ඉන්ධන නොමැතිව නතර වී ඇත.
ඒ සමගම සැකකරුවන්ට ආරක්ෂාව සැපයීමට යොදා ගෙන තිබු මෝටර් රථයක් පැමිණ ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනා නංවා ගෙන පලා ගොස් තිබෙන බව පොලීසිය කියයි.
එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.
කෙසේ වෙතත් හොර හරක් ප්‍රවාහනය කරන ලද ලොරිය හා ඒ තුල සිටි මී ගවයින් 07 දෙනෙකුගේ හා එල ගවයින් 07 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
නත්තල හා නව වසරේ උත්සව සමය වෙනුවෙන් මස් ලබා ගැනීම සදහා මී ඇල්ලේ සිට අලුත්ගම දර්ගා නගරය වෙත එම ගවයින් ප්‍රවාහනය කරමින් තිබු බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.
කෙසේ වෙතත් පැන ගිය හොර හරක් ජාවාරම්කරුවන් දෙදෙනා කවුරුන්දැයි පොලීසිය දැනටමත් හදුනා ගෙන ඇත.
අත් අඩංගුවට ගත් ලොරි රථය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් බවට තහවුරු කර ගෙන තිබේ.