(විනීතා එම්. ගමගේ)
රේගුවේ ඇස් වසා ගෙන්වන ලද කසළ බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් භූමියක තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා ගෙන ඇත.
වෙළඳ කලාපයේ සමාගමක් විසින් මෙම කසළ තොගය මෙරටට ගෙන්වා ඇත්තේ එක්සත් රාජධානියේ සිට බවත් 2017 හා 2018 වසරවල දී මේවා ගෙන්වා ඇති බවත් එහි කළ පරීක්ෂණවලින් හෙළිවූ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.
එම බහාලුම්වල තිබූ කසළ කන්ටේනර්වලින් ඉවත් කර ආසන්න භූමියක ගොඩ ගසා තිබූ බව ද ජයසිංහ මහතා කීය.
එක්සත් රාජධානියෙන් ගෙන්වන ලද මෙම අපද්‍රව්‍යවල ඉවතලන මෙට්ට කැබලි, කුෂන් කැබලි වාහන කාෆට් කැබලි ආදිය තිබු බව ද හෙතෙම සඳහන් කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් මෙම කසළ තොගය පරීක්ෂා කර ඒ පිළිබඳව අදාළ පරික්ෂණ පැවැත්වීමෙන් පසු එකී ඒවා මෙරටට එවනු ලැබූ සමාගම වෙත ආපසු යවන ලෙස ආයෝජන කලාපයේ සමාගමට නියෝග කළ බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එම සමාගමට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ප‍්‍රතිපත්තිය අනුව මෙන්ම ජාත්‍යන්තර බාසල් සම්මුතිය අනුව ද කිසිදු අපද්‍රව්‍යක් මෙරටට ගෙන්වීමට නොහැකි බව කී ජයසිංහ මහතා මෙසේ තවත් සමාගම් විසින් අපද්‍රව්‍ය ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව දිවයින පුරා පුළුල් පරීක්ෂණ ආරම්භ කරන බව ද සඳහන් කළේය.




