(රොමේෂ් මධුෂංඛ)
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට යාමට උත්සාහ කළ මන්නාරමේ පුද්ගලයින් 8 දෙනෙකු අද (11) තලෙයිමන්නාරම, වැලිපර 7 ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබේ.
උතුරුමැද නාවික විධානය විසින් සිදු කරන ලද මුර සංචාරයකදී වැලිපර 7 ප්‍රදේශයේ දී අනවසරයෙන් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මගින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ දෙමළ ජාතික පුද්ගලයින් 8 දෙනෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගනු ලැබීය.
නාවික හමුදා බාරයට ගනු ලැබූ මන්නාරමේ පදිංචි මෙම පිරිස අතර, වැඩිහිටි පිරිමි පස් දෙනෙකු සහ එක් කාන්තාවක් ද පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනකු ද සිටින බව නාවික හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පිරිස් තලෙයිමන්නාරම් පොලීසියට බාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇති අතර නිරන්තර සිදු කරනු ලබන සෝදිසි කිරිම් හේතුවෙන් අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත.

