හොර වැලි අල්ලන්න ගිය පොලිස් පරීක්ෂක ලොරියට යට කරළා


(නිමන්ති රණසිංහ)

යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයේ දී නිතී විරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිසක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැඟවී සිටි ටිපර් රථ රියැදුරකු අද (05) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සදහන් කරයි.

නිතිවිරෝධී අයුරින් ටිපර් රථයොදා ගනිමින් වැලි ප්‍රවාහනය කරන බවට යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලීසියට කරන ලද පැමිණීල්ලකට අදාළව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හය දෙනකු එම ස්ථානයට යමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

වැලි පටවාගෙන පැමිණී ටිපර් රථයක් නිලධාරීන් ඉදිරියට පැමිණ ඇති අතර එය නවතන ලෙසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුම් දි ඇති අතර  එහිදී රියැදුරු රථය නොනවත්වා ධාවනය කරමින් ඉදිරියට විත් ප්‍රධාන පොලිස් නිලධාරියා හප්පා පලා ගොස් ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.