හොර පොහොර හදා වැඩි මිලට විකුණලා


(නිමල් ජයරත්න )

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි  කිරීම  සිදු කළ පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ ස්ථානයක් වටලා පුද්ගලයින් 12 දෙනකු  අද(14) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීමෙන්  දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම  සිදු කරගෙන ගොස්  ඇතැයි පොලීසිය පවසයි.

මෙම වැටලීමේදී එහි  කළමනාකාරවරයෙකු ඇතුළු සේවකයින් දොළොස් දෙනෙකු, කලවම් කරන ලද පොහොර මිටි දාහකට ආසන්න සංඛ්‍යාවක්, මෙන්ම පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත්උ පකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි.

ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා  ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයිද පොලීසිය කියයි. වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක් සහ,පොහොර බෑග් මහන මැෂින්, වැඩි මිල සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කීපයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.