හොර පාරෙන් ජර්මනි යන්න ගියා ලාංකිකයා අල්ලයි


( ටී.කේ.ජී.කපිල )

කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මොහු යාපනය , ඉලවලායි පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද උදෑසන 08.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා  පිටත්ව යන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු නවදිල්ලි නුවර වෙත මුළින්ම ගමන් කිරීමෙන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානකින්  ජර්මනිය වෙත යාමට සැළසුම් කර තිබුණි .             

ඔහු ඉන්දීය ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන් , මෙම ගුවන් මගියා සමග එම ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඒහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී ඔහු ඉදිරිපත් කළ ජර්මන් වීසා බලපත්‍රය කූට ලෙස සකස් කර තිබූ එකක් බවට කරුණු අනාවරණය විය .

මීට අමතරව මොහු ජර්මන් ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් , ඔහු පසුගියදා කන්කසන්තුරය වරායෙන් මෙරටට ඇතුළු වූ බවට , ව්‍යාජ ආගමන විගමන මුද්‍රාවක් ද සිය ගමන් බලපත්‍රය තුළ සටහන් කර ගෙන තිබුණි .

මෙම කරුණු සියල්ල අනාවරණය වීමෙන් පසුව , මෙම තරුණයා අත් අඩංගුවට ගෙන , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .