හේලීස් ෆී සෝන් සමාගම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නෑ


(විනීතා එම් ගමගේ)

අපද්‍රව්‍ය කන්ටේනර් 130 ක් ගෙන්වා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දමා ඇති හේලීස් ෆී සෝන් සමාගම නිදහස් වෙළඳ කලාපයේ කටයුතු කිරීම සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගෙන නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ පරීක්ෂණවල දී හෙළිවී තිබේ.

වෙළඳ කලාපයේ සමාගම් පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාගත යුත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා මධ්‍යම පරිසර අධිකාරියට ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීමෙනි.

2017 සිට මෙම සමාගම මෙහෙයුම් සිදුකර ඇතත් කිසිඳු අවස්ථාවක මෙම බලපත‍්‍රය ඉල්ලා නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ පරීක්ෂණයේදී හෙළි වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

එසේ පරිසර බලපත‍්‍රය ලබා නොගැනීම ගැන එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ජයසිංහ මහතා කීය.

කළාපයේ සමාගම් පරිශ‍්‍රයක මේ වනවිට ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වලින් පරිසරයට සිදුවන හානිය තවදුරටත් සිදුවන බැවින් වහාම ඒවා වසා තබන ලෙස අධිකාරිය නියෝග කළ බවත් මේ වනවිට අදාල සමාගම ඒවා කන්ටේනර් තුළට දමමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

මෙම පරීක්ෂණවලට බ්‍රිතාන්‍ය රජය සහය දක්වන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා අධිකාරිය වෙත දන්වා ඇතැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එංගලන්තයේ පරිසර අමාත්‍යංශය ද ඊමේල් පණිවිඩයක් එවා තිබු බවත් එම කන්ටේනර්වල අංක ඇතුළු විස්තර ලබාදෙන මෙන් ඉල්ලා ඇති බව ද පැවසීය.

මෙම කන්ටේනර් ගෙන්වීමේ දී බාසල් සම්මුතිය උල්ලංඝණය වී ඇති බැවින් ඊට එරෙහිව ස්විට්සර්ලන්තයේ පිහිටි බාසල් සම්මුතියේ ප‍්‍රධාන කාර්යාලයේ විධායක ලේකම්වරයාට පැමිණිලි කළ බව ද ඔහු කියා සිටියේය.

මධ්‍යම පරිසර අධිකාරිය කළ පරීක්ෂණවලට අනුව මෙම අපද්‍රව්‍ය සහිත කන්ටේනර් හේලීස් ෆී සෝන් සමාගම වෙනුවෙන් සිලෝන් මෙටල් ප්‍රොසෙසින් සමාගම විසින් ගෙන්වා ඇත්තේ ඊටීඑල් කලම්බු සමාගමේ මැදිහත්වීම මතය.

මෙම අපද්‍රව්‍ය තොගය හැකි ඉක්මණින් ආපසු යැවීමට කටයුතු කරන බවත් ඒ සඳහා වන පියවර ගනිමින් සිටින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් කියා සිටියේය.