හේලීස් ෆ්‍රී සෝන් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී නෑ


(විනීතා එම්.ගමගේ)

පසුගිය දිනවලදී මාධ්‍ය මගින් අනාවරණය කරන ලද භාවිතා කරන ලද භාණ්ඩ ඇතුළත් බහාලුම් 102 ක් ආනයනය කරනු ලැබ ඇති හේලිස් ෆී‍්‍ර සෝන් සමාගම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් නොවන බවත් එය 2014 සිට ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ අන්තර් වෙළඳ කටයුතු කරන බවත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මාධ්‍ය අංශය විසින් අද (19) නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් වන හේලීස් ෆ‍්‍රී සෝන් සමාගම වර්ෂ 2013 අංක 1 දරන පනත යටතේ ක‍්‍රියාත්මක වන ආයතනයකි. 

ඒ අනුව වර්ෂ 2014 මැයි මස සිට ඔවුන් ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ අන්තර් වෙළඳ කටයුතු කරගෙන යනු ලැබේ. 

වර්ෂ 2017 ඔක්තෝබර් මාසයේ දී හේලීස් සමාගම ප‍්‍රති අපනයනය කිරීම සඳහා පාවිච්චි කරන ලද මෙට්ට සහ බුමුතුරුණු ඇතුළත් බහාලුම් 130 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලදී.  මෙයින් බහාලුම් 29 ක් මේ වන විටත් ප‍්‍රති අපනයනය කර ඇත. 

කෙසේ වෙතත් 2018 ජනවාරි වන විටත් ඉතිරි බහාලුම්වල ඇති භාණ්ඩ ප‍්‍රති අපනයනය නොකර අපනයන සැකසුම් කලාපය තුළ ගබඩා කර තිබෙන බවට ආයෝජන මණ්ඩලයේ නිරීක්ෂණයට භාජනය විය. 

ඒ අනුව ආයෝජන මණ්ඩලය විසින් හේලීස් සමාගමට දැඩි අවවාද කරමින් කියා සිටියේ ගිවිසුම් ප‍්‍රකාරව එකී භාණ්ඩ හැකි ඉක්මනින් ප‍්‍රතිඅපනයනය කිරීමටත් අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙසයි. 

ඊට සමගාමීව ආයෝජන මණ්ඩලය විසින් සමාගමේ සියලුම ආනයන තාවකාලිකව තහනම් කොට 2018 පෙබරවාරි අවසන් වීමට පෙර ඉතුරු සියලුම භාණ්ඩ ප්‍රතිඅපනයනය කරන ලෙස සමාගමට දන්වන ලදී. 

කෙසේ වෙතත් සමාගම එය කිරීමට අපොහොසත්වී ඇති අතර විටින් විට ඒ සඳහා නොයෙකුත් තාක්ෂණික සහ වෙනත් හේතූන් ඉදිරිපත් කරමින් සිටී. 

හේලීස් සමාගම පොරොන්දු වූ පරිදි මෙම භාණ්ඩ ප‍්‍රති අපනයන කිරීමට අපොහොසත් වීම නිසා ඒ සම්බන්ධව දැඩි පියවර ගැනීමට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන ලදී.