(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දන්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (28) නියම කළේය.
මෙසේ සිර දඬුවම නියම වූයේ වැල්ලම්පිටියේ පදිංචි 34 හැවරිදි සිව්දරු පියෙකු වු සමීර ලක්මාල් නම් විත්තිකරුටය.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.
2015 ජුලි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2.83 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී ඔහු සන්තකයේ සඟවාගෙන සිටි හෙරොයින් තොගය සොයාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී හෙළි විය.
විත්තිකරු සන්තකයේ තිබු හෙරොයින් තොගයේ ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 02.83 ක් ඇති බව රජයේ රස පරීක්‍ෂවරයා තහවුරුර තිබිණි.
දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය හෙරොයින් ජාවාරම්කරුවකු වන මෙම විත්තිකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තයේ තිබී විශාල හෙරොයින් ප්‍රමාණයක් තිබී ඇතැයිද ඔහු එම හෙරොයින් බෙදාහැරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයිද පැවසුවාය.
විත්තිකරුගේ ක්‍රියාව හේතූවෙන් සමාජයට සිදුවන බරපතලකම සැලකිල්ලට ගෙන සමාජයටද පාඩමක් වන ආකාරයෙන් දැඩි දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි ජයරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දන්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පෙනී සිටියාය.

