හෙටින් පසු තද වැසි අඩුවන ලකුණු


(ඩයනා උදයංගනී)
         
දැනට පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හෙටින් (26) පසු අඩුවනු ඇතැයි  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ නමුත් අද රාත‍්‍රිය වන තුරුත් දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයන්හි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.
         
බස්නාහිර,  දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත‍්‍රික්කවලත් හෙට (26)  දිනයේදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඇය කීවාය.
         
දිවයිනේ සෙසු පළාත්වල ද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඇය සඳහන් කළාය.
         
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියා කරන්නැයි ජනතාවට දැනුම්දෙන බව ද අධ්‍යක්‍ෂවරිය කීවාය.