හෙටත් පළාත් කිහිපයකට තද වැසි


(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (22) දිනයේත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව හා උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත‍්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවලද පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන අතර ඌව පළාතේත්, යාපනය, අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවලත් මිලිමීටර 50ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ සිටීමෙන් වැළකීම, කුඹුරු, තේ වතු, ක‍්‍රීඩා පිටි, ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳීමෙන් වැළකීම, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීම ආදී ආරක්‍ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද (21) පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 110 ක වර්ෂාපතනයක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ කිරි`දිවැල ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මීට අමතරව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වහරක ප‍්‍රදේශයෙන් මිලිමීටර 89.5ක්, දෙහි ඕවිට ප‍්‍රදේශයෙන් මිලිමීටර 87.5ක්, ගම්පහ, යක්කල ප‍්‍රදේශයෙන් මිලිමීටර 86ක්, රත්නපුර ඇහැළියගොඩ ප‍්‍රදේශයෙන් මිලිමීටර 85ක්, ගම්පහ, පස්යාල ප‍්‍රදේශයෙන් මිලිමීටර 79ක් සහ රත්නපුර තෙප්පනාව ප‍්‍රදේශයෙන් මිලිමීටර 76ක් වශයෙන් වැසි වාර්තා වී තිබේ.