හිටපු ජනපති කෲඩියා සෙලනිකා බලන්න යයි



(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දාරළුවේ පිහිටි පඬුකරද ගස(කෲඩියා සෙලනිකා) සම්බන්ධයෙන් ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය ගස ඒ ආකාරයෙන්ම තිබීම බවත්, ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් නම්‍යශීලීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(14) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දාරළුවේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු පඬුකරඳ ගස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ය.

එම ස්ථානයට හිටපු ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව හා පරිසර සංවිධාන මෙම ගසෙහි  වටිනාකම සම්බන්ධයෙන් හා වත්මන් තත්ත්වය පිළිබඳව සඳහන් කළහ. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයකු විසින් ගස සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවක් මෙහි දී ජනාධිපතිවරයාට බාරදුන්නේය.

ගස සමීපයටම ගිය හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාරය පුද කළේය. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මෛත්‍රීපාල  සිරිසේන මහතා  මෙසේ ද කීය.

'සුන්දර පරිසරයක පිහිටි දාරළුව ගම්මානයට පැමිණීමට ලැබීම  පිළිබඳව මම සතුටු වෙනවා. දුර්ලභ ගසක්, වටිනා සම්පතක් වන මේ ගස වෙත මේ වන විට සියලු නිලධාරීන්ගේ හා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වටිනාකම හේතුවෙන් මහා සංඝරත්නය මේ ගස ශාසනයට පූජා කළා. අපිත් පූජා වස්තුවක් ලෙස ඊට සලකන්න ඕනේ.

ජනතා ඉල්ලීම් සම්බන්ධයෙන්  රජයේ පාර්ශ්වයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මම මේ සම්බන්ධයෙන්  පෞද්ගලිකව රජය, අදාල ආයතන හා නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනවා.  ගස ආරක්ෂා කර ගැනීමට පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.

මගේ මතකය අනුව මම ජනාධිපති සමයේ ලැබුණු මුල් සැලැස්මේ මේ ගස මග අරින සැලැස්මක් තිබුනු බව මතකයි. ගසට පරිසරයට ආදරය කරන පිරිස් කරන ඉල්ලීම් සලකා බලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු නොවුණු ඇතැයි මම විශ්වාස කරනවා. මම ජනාධිපති කාලයේ මේක සම්බන්ධයෙන් මට වාර්තාවක් ලැබුණේ නැහැ.

අද ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය මේ ගස මේ ආකාරයෙන්තිබෙන එකයි' යැයි හිටපු ජනපතිවරයා කීය.