හිටපු අගමැති රනිල් සමඟ 11කට ජනාධිපති කොමිසම හමුවට එන්න නියෝග


(දසුන් රාජපක්ෂ)

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් පිරිසකට සැප්තැම්බර් 7 වැනි දින දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(18) නියෝග කළේය.

කොමිසමේ සභාපතිවරයා එලෙස නියෝග කළේ, දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවය.

ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියම කෙරුණු අනෙක් පිරිස වන්නේ, දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් වන මංගල සමරවීර, චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම යන හිටපු අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, එම්. ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ,  ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න හා දූෂණ විරෝධී කමිටු ලේකම් ආනන්ද විජේවික්‍රම යන අය වෙතටය.

එමෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 5දෙනෙකුටද සැප්තැම්බර් 7 වැනි දින ජනාධිපති කොමිසමට හමුවේ පෙනී සිටීමට නියෝග කෙරිණි.

දිවි නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී, පුද්ගලයන් පිරිසකට වාසිදායක අයුරින් මුදල් ලබා දී ඇති බවට චෝදනා කර දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇත්තේ, දේශපාලනිකව පලිගැනීමට බව ඒ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.