හික්කඩුව ආරච්චි කන්ද රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි


 ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ආරච්චි කන්ද ප්‍රාදේශීය රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

ඒ අනුව මෙම රෝහල ඇඳන් සියයකින් සමන්විත නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ.

මෙම කටයුත්ත කිරීමේ දී අවශ්‍ය ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ලබා ගැනීමට ද අදහස් කෙරේ.

අද (27) වනදා වන විට දකුණු පළාතේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති සංඛ්‍යාව 2100 බව ද අද වන විට දින 14 ක ස්වයං නිරෝධායනය අවසන් කර ඔවුන් ට ඒ බව සඳහන් සෞඛ්‍ය සහතික නිකුත් කළ ඇති සංඛ්‍යාව 1100 බව ද වෛද්‍ය චන්දිම සිරිතුංග පැවසීය.

මෙම කරුණු අනාවරණය වූයේ අද (27) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ය.

මෙම සාකච්ඡාව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.