(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත විහාරස්ථානයක හිමිනමකගේ ණය පතක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ හතරක ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක් මිලට ගත් අයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඉදිරියේ අද (14) කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ බෝ සෙවන පාර, මාලිගාවත්ත කොළඹ 10 ලිපිනැති විහාරස්ථානයක වැඩවසන හිමිනමක විසින් ඉකුත් 02 වැනිදාය.
තමන්ට ලැබුණු පුන්‍යාධාර සහ අනෙකුත් ආධාර සම්පත් බැංකුවේ ගිණුමකට බැර කළ බවත් පසුව එම ගිණුමෙන් ණය කාඩ් පතක් ලබාගෙන තිබූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම වරද ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 367 වගන්තිය සමග කියැවෙන 400 වගන්තිය යටතේ සිදුකළ වරදක් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මාලිගාවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

