
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පරාජයට පත්විය.
යෝජනාවට විරුද්ධව ඡන්ද 152 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 36 ක් පමණි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ජී ජී පොන්නම්බලම් සහ අර්චුනා රාමනාදන් යන මන්ත්‍රීවරු වෙති.
උදේ 10.30 සිට පස්වරැ 5.30 දක්වා පැවැත්වුණු විවාදයෙන් පසු ඡන්ද විමසීම සිදු කෙරිණ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී ඉකුත් (21) වැනිදා බාර දෙනු ලැබීය.
යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් තිස් හත් දෙනෙකු අත්සන් තබා ඇත.
මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇතැයි මෙම විශ්වාසභංග යෝජනාවෙන් චෝදනා කෙරිණ.
ගැටුම නිරාකරණය කිරීම සඳහා කඩිනමින් ප්‍රමාණවත් කාලෝචිත පියවර ගැනීමට අධිකරණ අමාත්‍යවරයා අපොහොසත් වීමෙන් ජුලි මස 6 වැනි දින මීගමුව බන්ධනාගාරයේ ගැටුම් තීව්‍ර වූ බවත් පූර්ව සැලසුමකින් තොරව බන්ධනාගාර නිලධාරීන් ගැටුම සිදුවූ ස්ථානයට යොමු කිරීමෙන් එම නිලධාරීන්ගේ ජීවිතය අනතුරට දැමූ බවත් එහි සඳහන් විය.

